කාලි ආවේසයෙන් කොරෝනා නසන පැණියක් සකස් කළේ යැයි ප්‍රධාන රූපවාහිනී නාලිකා පවා ප්‍රචාරයක් ගෙනගිය කෑගල්ලේ ධම්මික නැමැත්තාගේ පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් 06 දෙනාටම කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාට, ඔහුගේ බිරිඳට සහ 08 හැවිරිදි සිව් නිවුන් දරුවන්ට මෙලෙස වෛරසය ආසාදනයවී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මහතා තහවුරු කර ඇත.
තමන් ඇතුළු පවුලේ 06 දෙනාම ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බව මන්ත්‍රීවරයාද සනාථ කර තිබේ.
මෙම 06දෙනාගෙන් සිවුදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඔවුන් පසුගිය 06 වෙනිදා කෑගල්ල මහ රෝහලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුවය. පසුව අනෙක් දෙදෙනා PCR පරීක්ෂණයට භාජනය කර තිබේ. එහිදී ඔවුන්ද ආසාදිතයන් බව තහවුරු වී ඇත.
ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර ඇති අතර මන්ත්‍රීවරයා ඇතුළු 06 දෙනාගේ ආශ්රිත පවුල් 40ක පුද්ගලයින් 200ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිස අතර කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ග්‍රාම නිලධාරීවරයා සහ කෘෂි පර්යේෂණ නිලධාරීවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද සිටිති.