ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද AstraZeneca එන්නත දකුණු ආසියාවේ රටවල් පහකට මේ වනවිටත් බෙදා හැර ඇත.
ඒ අනුව පසුගිය 20දා භූතානයට එන්නත් ලක්ෂ එකහමාරක්ද මාලදිවයිනට එන්නත් ලක්ෂයක්ද ලබා දී ඇත. ජනවාරි 21 දා අසල්වැසි බංග්ලාදේශයට එන්නත් ලක්ෂ 20ක් හා නේපාලයට එන්නත් ලක්ෂ 10ක් ලබා දුන් ඉන්දියාව ඊට පසුවදා මියන්මාරයට තවත් එන්නත් ලක්ෂ 15ක් භාර දී ඇත. ඊට අමතරව කුඩා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වූ සීෂෙල්ස් දූපතට ද මේ වනවිටත් ඉන්දියානු එන්නත් පිරිනමා ඇත.
දකුණු ආසියානු කලාපයේ අවසානයට ඉන්දියානු එන්නත ලබාදෙන රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. දකුණු ආසියාවේ රටවලට අමතරව සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ මොරොක්කෝව යන රටවලට එන්නත් ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.
පළමු වටයේදී එන්නත් ලක්ෂ සීයක් බෙදාහැරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ.
එන්නත හෙට ලංකාවට?
මේ අතර ඉන්දියාවෙන් නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු තොගය හෙට පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව එන්නත් ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් වසංගතයට එරෙහි එන්නත සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අගමැතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය ප්‍රදානයක් ලෙස එන්නත් ලක්ෂ 05 ක් ලබාදීමට එකඟ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපලට ගොස් එන්නත් තොගය භාරගැනීමට නියමිත බවයි ලලිත් වීරතුංග මහතා පවසන්නේ.
ඉන්දියාවෙන් ලැබෙන එන්නත් මාත්‍රා ලක්ෂ 05 පළමු වටයේ ලක්ෂ 2.5 ක ප්‍රමාණයකට පමණක් ප්‍රමාණවත් වන අතර ඔවුන්ට එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාදීමට නියමිතය. හෙට එන්නත මෙරටට ලැබුණු වහාම බෙදාහැරීමේ කටයුතු ආරම්භ වන අතර අනිද්දා සිට එන්නත්කරණය ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටී.
පළමු වටයේදී කොවිඩ් මර්දන කටයුතු සඳහා යොදවා සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩලයට එන්නත් ලබාදෙන අතර ඊට අමතරව කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජුව සම්බන්ධ වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන්ද එන්නත සඳහා හිමිකම් කීමට සුදුසුකම් ලබයි. මෙම පිරිසෙන් පසුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ඒ සඳහා සුදුසුකම් ලබන බවයි ලලිත් වීරතුංග මහතා පවසන්නේ.
චීනයේ නිපදවන සයිනොෆාමා එන්නත ලබා ගැනීමටද ඉල්ලුම් කර ඇති අතර චීනයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් පමණ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, රුසියානු රජයෙන් සිදුකළ ඉල්ලීමක් අනුව රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් එන්නතද මෙරටට ලැබෙනු ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසනවා. මීට අමතරව ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත මිලදී ගැනීම සඳහා රජය අවධානය යොමුකර ඇති බවත් ඔහු පවසනවා. ඒ අනුව ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන 2 – 3 අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ලලිත් වීරතුංග මහතා පවසයි.