කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අදානි සමාගම එක්කර ගනිමින්, එම සමාගමකට සියයට 49 කොටස් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් වරාය වෘත්තීය සමිතිවලට අලුත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව, නැගෙනහිර ජැටිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය සමාගම එක්කර නොගෙන, බටහිර ජැටිය සංවර්ධනය මුළුමනින්ම ඉන්දීය සමාගමේ ආයෝජන මත සිදුකිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල අදහස් විමසා ඇත.
නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට දුනහොත් මරාගෙන මැරෙන සටනකට අවතීරණව සිටින වරාය වෘත්තීය සමිති හා ජාතිකවාදී බලවේග මෙම යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තාවේ.
අප වෙත වාර්තා වන පරිදි මේ සම්බන්ධයෙන් සෘජුව මැදහත්ව ඇත්තේ, බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ය.
පෙරේදා දිනයේ මහනුවරට ගොස් වරාය අර්බුදය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත්කර කොළඹට එමින් සිටි ‘පොහොට්ටු’ පක්ෂයේ වෘත්තීය සමිති නායකයාට දුරකථන ඇමතුමක් ලබාදී එදිනම රාත්‍රී ඔහු ඇතුළු එම වෘත්තීය සමිතියේ ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ඇති බැසිල් රාජපක්ෂ, නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබාදීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත.
එසේම, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ද ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් කැඳවමින් අදාල යෝජනාවට සහය ලබාගැනීම සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමට බලවත් උත්සහයක් දරා තිබිණ.
බැසිල් රාජපක්ෂ මෙන්ම, නාලක ගොඩහේවා ද ඒ සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයින් සමග ද සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ අනුදැනුම මත :
ඔවුන් දෙදෙනා එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පුර්ණ අනුදැනුම මතය.
කෙසේවෙතත් ඊයේ වරාය පරිශ්‍රයට ගිය නාලක ගොඩහේවාට සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දුට විපක්ෂයේ වෘත්තීය සමිතිවලින් ‘හූ’ සංග්‍රහයක් ලැබිණ.
එසේ වුවද අප වෙත වාර්තා වන්නේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අලුත් යෝජනාවට වරාය වෘත්තීය සමිති මෙන්ම, ආණ්ඩුවට පක්ෂපාති ජාතිකවාදී බලවේගයන් ද කිසියම් අනුකුලතාවයක් දක්වා ඇති බවයි.
නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා රජයේ මුදල්වලින් සංවර්ධනය කරමින් බටහිර ජැටිය සංවර්ධනයට විදෙස් ආයෝජන ලබාගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘රටහදන සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන්ව තිබු බව නාලක ගොඩහේවා ඊයේ මාධ්‍ය හමුවේ පැවසිය.
ආණ්ඩුවේ පක්ෂ 10 ක් එක්වේ
කෙසේ නමුත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන අභ්‍යන්තර හා බාහිර බලවේගයන්ට එරෙහිවඅත්වැල් බැඳ ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 ක් අද දිනයේදී එකඟතාවයට පැමිණ ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී ඊයේ (ජන 30) පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණයට එළඹ තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණ.
1- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,
2- ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ
3 – පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,
4 – නව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,
5 – ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,
6 – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ,
7 – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,
8 – යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග
9 – අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි සහ
10 ලංකා වතු කම්කරු සංගමයේ
නියෝජිතයින්දමෙම රැස්වීමට එක්ව සිටියේය. එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් කිසියම් අසනීප තත්වයක් නිසාත්, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද යාපනයේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් නිසාත් මෙම සාකච්ජාවට එක්ව නැතත්, එහිදී ගනු ලැබූ සියලු තීන්දු තීරණවලට එකඟතාවය පළකර තිබේ. නැගෙනහිර වරාය ජැටිය විදෙස් රටකට විකිණීමේ ක්‍රියාමාර්ගය මුළුමනින්ම පරාජය කිරීමට මෙම පක්ෂනායක හමුවේදී ඒකමතිකව තීන්දුකර ඇත. වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමකට සියයට 49 ක කොටස් ලබාගෙන බව ජනාධිපතිවරයා ලවා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී ප්‍රකාශ කරවා, ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගෙන විට ජනාධිපතිවරයාව ලවාම එම යෝජනාව හකුලා ගැනීමට සලස්වා ජනාධිපතිවරයා හැල්ලුවට ලක්කිරීම ‘හතර දෙනාගේ කල්ලියේ’ කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් විරවංශ මෙහිදී පෙන්වා දී ඇත. ඔහු විසින් ‘හතර දෙනාගේ කල්ලිය’ ලෙස හඟවා ඇත්තේ, ‘බැසිල් -මොරගොඩ – පී.බී – ක්‍රිෂාන් බාලේන්ද්‍ර’ යන සිව්දෙනාවය. ජනාධිපතිවරයා හෑල්ලුවට හා අප්‍රසාදයට ලක්කර, පටු දේශපාලන වාසි අත්කර ගැනීමට ආණ්ඩුවේ ඇතැමුන් දරන උත්සාහය මෙම සාකච්ජාවේදී බරපතල ලෙස විවේචනයට ලක්ව ඇති අතර මින් ඉදිරියේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ආරක්ෂාකර කර ගෙන 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට ද තීන්දු කර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මාස ගණනාවකින් නොකැඳවීම සම්බන්ධයෙන් ද මෙහිදී විවේචනයට ලක්ව ඇත. එම තත්වය තුල ආණ්ඩුව නියෝජනය කරන ඉහත දේශපාලන පක්ෂ 12, මින් ඉදිරියට වෙනම සංවිධානයක් ලෙස මාසිකව රැස්වීමටත් තීන්දු කර තිබේ.
ජනමත විචාරණයක් !
මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසන්නේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතුම නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ එබව සඳහන් කළේය. එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය කියා සිටියේ උන්වහන්සේගේ ඒම යෝජනාව රජයට දැනුම් දෙන බව තම සංගමයට දැනුම් දුන් බවයි.
වෘත්තීය සමිතිවලින් ජනපතිට ලිපියක්
මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා වරාය වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත්කර ඇත.