fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

වන විනාශයට පාර කපන ජනපතිගේ “ගම සමඟ පිළිසඳර”

දහයියාගල (අලි මංකඩ) අභයභූමියේ ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීමෙන් ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම උත්සන්න වීමේ අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය අවදාරණය කරයි . ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ .

ශ්‍රී ලංකාවේ ප්‍රකට වන අලි වාසභූමියක් වන උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය අතර අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඉවහල් වන දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමට ජනතාව පෙළඹවීම නිසා ඉදිරියේදී ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී. තවද මෙවැනි අත්තනෝමතික, අසාධාරණ සහ අමනෝඥ ක්‍රියාකලාපයන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වල වනජීවී රක්ෂිත අනවසරයෙන් අල්ලා ගැනීමටද පුද්ගලයින් පෙළඹීමට නරක පූර්වාදර්ශ සපයන බව අප අවධාරණය කරමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජනවාරි 30 දින පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලුත්වැව ග්‍රාම නිලධාරී වසමේ පවත්වනු ලැබූ “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනේදී මෙම අලි- මිනිස් ගැටුම් ඉහළ යාමට තුඩුදෙන සහ නරක පූර්වාදර්ශ සපයන තීන්දු තීරණ ජනතාව හමුවේ ප්‍රකාශකර තිබේ. තවද මෙම වැඩසටහන අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දහයියාගල අභයභූමියට අයත් කුකුල්කටුව වැව් තාවුල්ල අනවසරයෙන් විනාශකර නිර්මාණයකල පසුතලයක පැවැත්වීමද කණගාටුවට කරුණකි.

වර්ෂ 2002 ජුනි මස 07 දිනැති අංක 1239/28 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 2685.07 ක වපසරියකින් සමන්විත දහයියාගල අභයභූමිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය ඇතුළු සමස්ත හස්ති වාසභූමියේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහාය. උඩවලව ජාතික උද්‍යානයේ සිට සහ වටහිරකන්ද අලි මංකඩ ඔස්සේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යායේ සිට පවා අලි ඇතුන් බෝගහපට්ටිය යෝජිත අභයභූමිය, රජවක වන රක්ෂිතය, සමනල වැව වන රක්ෂිතය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අධි සංවේදීම පරිසර පද්ධතියක් වන හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තර කළාපය වෙත සංක්‍රමණය වීමට මෙම අලි මංකඩ භාවිතා කරයි. එසේම මෙහි කරමැටිය ප්‍රදේශයේ පිහිටා ඇති ලවණ නිධිය අලි ඇතුන්ගේ ලවණ අවශ්‍යතාවය සැපිරීම සඳහා පුළුල් වශයෙන් භාවිතයට ගැනේ. තවද දහයියාගල අභයභූමිය තුල ඇති වැව් පද්ධතියද වියලි කාලයේදී අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා විශාල පිටුබලයක් ලබාදේ. උඩවලව ජාතික උද්‍යානයට විශාල වශයෙන් හීලෑ ගවයින් ඇතුළු කිරීම සහ ආක්‍රමණික ශාක ව්‍යාප්තිය නිසා එහි අලි ඇතුන් දැඩි ආහාර හිඟයකට මුහුණදී සිටින බව නොරහසකි. එසේම දිවයිනේ වැඩිම ගම්මාන සංඛ්‍යාවකින් වටවී ඇති ජාතික උද්‍යානය වන්නේද උඩවලව යි. එබැවින් එහි ජීවත්වන අලි ඇතුන්ට තම පැවැත්ම හතවුරුකර ගැනීම සඳහා ඇති ප්‍රධානතම විකල්පය වන්නේ දහයියාගල අලි මංකඩ ඔස්සේ බෝගහපට්ටිය දෙසට ගමන් කිරීමයි. ඒ අනුව අලි ඇතුන්ට වාසභූමියක් ලෙස මෙන්ම අත්‍යාවශ්‍ය සංක්‍රමණ මාර්ගයක් ලෙස දහයියාගල අභයභූමිය අතිශයින්ම වැදගත් වන බව පැහැදිළිය.

එබැවින් දහයියාගල අභයභූමියට අයත් ඉඩම් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදාගත හොත් එම අලි මංකඩ අවහිර වීමෙන් අලි මංකඩ දෙපසම ප්‍රදේශ වල අලි- මිනිස් ගැටුම උග්‍ර වීම නොවැලැක්විය හැකිය. මේ හේතුවෙන් ඉදිරියේදී වේලිඔය, කන්ඩියපිට වැව, මහපැලැස්ස, අලුත් වැව, පොකුනුතැන්න, කුකුල්කටුව, හම්බෙගමුව, ඇඳගල, පොතුපිටිය, දම්වැල්ඕඩය, දහයියාගල, ලගිනගල, කරමැටිය වැනි ගම්මාන වලට එල්ලවන වන අලි ප්‍රහාර දෙගුන තෙගුන වීම අනිවාර්ය වේ. එසේම ඉදිරියේදී සෙවනගල, බලන්ගොඩ, වැල්ලවාය, බුදුරුවගල, බෙරගල, දියලුම හා හල්දුම්මුල්ල දක්වාද අලි ඇතුන්, විශේෂයෙන් තනි පිරිමි අලින් ගමන් කිරීමට මෙම තත්ත්වය හේතුවිය හැකිය.

තවද උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන සංචාරක ආකර්ශකය බවට පත්ව ඇත්තේ අලි ඇතුන් වන අතර දිවයිනේ අගනුවරට ආසන්නම වන අලි ඇතුන් නැරඹිය හැකි ප්‍රදේශය වන්නේද මෙම ජාතික උද්‍යානයයි. එමගින් සෆාරි ජීප්රථ සේවා, සංචාරක පහසුකම් ආදීය සපයමින් ජීවිකාව සරිකර ගන්නා ප්‍රමාණය අති විශාලය. නමුත් මෙම ජාතික උද්‍යානයේ අලි ඇතුන් ආහාර හිඟය හේතුවෙන් කෘෂවී ඇති බවට පසුගිය කාලයේ විශාල වශයෙන් චෝදනා එල්ල විය. දහයියාගල අලි මංකඩ අවහිරවීම හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වීම සහ උද්‍යානයේ අලි ගහනය හීනවීම සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපෑ හැකි අතර එය සංචාරක කර්මාන්තය ඔස්සේ ජීවනෝපාය සරිකරගත් ජනතාවටද මරු පහරක් වනු නොඅනුමානය.

දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් දේශපාලන හිතවත්කම් සහිත පුද්ගලයින් විසින් නීති විරෝධී ආකාරයෙන් අත්පත්කර ගැනීමට උත්සාහ දැරුනේ අද ඊයේ සිට නොවේ. විශේෂයෙන් 2008 සැප්තැම්බර් 21 දින එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ උසිගැන්වීම මත උඩවලව ජාතික උද්‍යානය මායිමේ විදුලි වැටක් ඉදිකර මෙම දහයියාගල අභයභූමියේ ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත්කර ගැනීමට පිරිසක් උත්සාහ කළේය. නමුත් ප්‍රදේශයේ ජනතාව, වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය. එසේම මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පාරිසරික පදනම, හා වනපෙත් හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සමක තීන්දුව ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ දහයියාගල අභයභූමිය සුරැකෙන අයුරින් හා අලි ඇතුන්ට බෝගහපට්ටියට ගමන්කළ හැකි අයුරින් අභයභූමි මායිමෙන් විදුලි වැට ඉදිකරන ලෙසය. එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2010 ඔක්තෝබර් 4 දින ය. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උත්සාහ දැරූ අවස්ථාවේද නැවතත් ඉහත කී දේශපාලකයින්ගේ හෙන්චයියන් විසින් ඊට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුනි. නමුත් කෙසේ හෝ එම සියළු උත්සාහයන්ද පිටු දකිමින් අභයභූමිය ආරක්ෂාවන පරිදි විදුලි වැට ඉදිකර මෙම වටිනා පරිසර පද්ධතිය සුරක්ෂිත කරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.

නමුත් “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට කැඳවා දහයියාගල අභයභූමියේ ඉඩම් ලබාදෙන බවට ප්‍රදේශයේ දේශපාලඥයින් විසින් ජනතාව උසිගැන්වීම නිසා නැවතත් පසුගිය දින කිහිපයේ ජනතාව මෙම අභයභූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට විවිධ උත්සාහයන් දැරීය. එහෙත් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යම්තාක් දුරකට පාලනය කරගැනීමට හැකිවිය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනවාරි 30 දින මෙම ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” ට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් එම ආක්‍රමණය මේ වනවිට දරුණු අතට හැරී ඇත. “පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි” ඔහු විසින් නිලධාරීන්ට උපදෙස් දීමත් සමග මෙම තත්ත්වය වඩාත් බරපතල වී ඇත. පසුගිය 30 දින, සෙනසුරාදා දින පස්වරුවේ සහ ඉරිදා දින විශාල වශයෙන් ජනතාව අභයභූමියට ඇතුළුවී එහි ඉඩම් කට්ටි මායිම් සලකුණු කරගැනීම සහ වන වැස්ම විනාශකිරීම සිදුකර ඇතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් හේතුවෙන් වගකිවයුතු නිලධාරීන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වෙමින් පවතී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. තවද මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ “වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

නමුත් දහයියාගල අභයභූමිය වැනසීමට තුඩු දෙන ජනාධිපතිවරයා ලබාදී ඇති නියෝග මගින් ඔහු තමන්ගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පමණක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝනය කරමින් තිබේ. තවද 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වැනි අන පනත් උල්ලංඝනය කරමින් වනජීවී රක්ෂිතයකට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට රටේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන නරක පූර්වාදර්ශය දහයියගලට පමණක් නොව ඉදිරියේදී සමස්ථ දිවයිනේම වනජීවී සහ වන රක්ෂිත වලට විශාල බලපෑමක් එල්ලකරනු නොඅනුමානය.

මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව මහ ජනතාව වශයෙන් අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව මේ සිදුවන සියළු අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් දයියාගල අලි මංකඩ දේශපාලන හෙන්චයියන් විසින් අත්පත් කරගැනීමේ අනිටු ප්‍රතිපල වලට වනජීවීන්ට පමණක් නොව ප්‍රදේශයේ සියළු ජනතාවට නුදුරේදීමට මුහුණදීමට සිදුවනු නියතය.

[සුපුන් ළහිරු ප්‍රකාශ්]

Related news

ලංකාව කොරෝනා දැඩි අවධානමක!

administrator

වතුරේ සෙක්ස් කරන්න ආසයිද ? එහෙම​නන්, මේ ටිප්ස් ටික හිතට ගන්න එක වැදගත්

newsediror

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

newsediror

ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව පිළිගත්තේ නැහැ, අපි ඉන්නෙ බරපතල අවදානමක

newsediror

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

newsediror

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙයි: සංචරණ සීමා අත්‍යාවශ්‍යයි

administrator