fbpx

කොවිඩ් මරණ සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල නැති බව GMOA සහ PHI සංගමය කියයි

COVID-19HealthHot

බිම් මට්ටමේ දී සිදුවන කොවිඩ් මරණ නිසිලෙස සංඛ්‍යා ලේඛන සඳහා යොමු නොවීම හේතුවෙන් ජනතාව හා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් ප්‍රකාශයක් සිදුකළ යුතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

“බිම් මට්ටමේ සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නැහැ. ඒ හරහා මතුවෙලා තියෙන තත්වය තමයි, සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. උදාහරණය තමයි ගමක මරණයක් වුණාම ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් දත්ත ප්‍රකාශ වෙනකොට ගමේ සිදුවුණ මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක කොවිඩ් මරණයක්ද නැද්ද කියන සැකය ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තීකයන් අතර ඇති වෙන්න පුළුවන්.” යැයිද එහු සඳහන් කරයි.

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආසාදිත මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

“සමස්ත මරණවලින් 70%ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා මෙන්න මේ ඉලක්ක කණ්ඩායම් හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කලමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහනේ දී ඒ අය ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධවෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ජනවාරි සමස්ත මාසයටම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසයට වාර්තා වුණ මරණ ගාන ඉක්මවලා වාර්තා වෙනවා. මේක එතරම් සුබදායි තත්ත්වයක් නෙමෙයි.” යනුවෙන්ද වෛද්‍යවරයා සඳහන් කරයි.

කොරෝනා මරණ ගණන්හිලව් පරස්පරයි: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

මේ අතර කොවිඩ් – 19 ආසාදනයෙන් මියයන පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත්කරන ගණන්හිලව් හා කොට්ඨාස මට්ටමින් ඉදිරිපත්වන ගණන්හිලව් අතර පරස්පරතාවයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසන්නේ සෞඛ්‍ය ආමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව හා කොට්ඨාස මට්ටමින් ඉදිරිපත්වන සංඛ්‍යාව අතර පරස්පරතාවයක් පැවතීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු අසීරුතාවයකට පත්ව ඇති බවයි.

කොවිඩ් ආසාදනයෙන් ගම් මට්ටමින් මිය යන පුද්ගලයන් කොවිඩ් නීතියට අනුව ආදාහනය කරනු ලබන අතර එසේ මියයන පිරිස පිළිබඳව වාර්තා නොකිරීම නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් මහජන පරීක්ෂකවරුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන අවස්ථා ඇති බවද ඔහු පවසයි.

කොවිඩ් ආසාදනයෙන් මියයන ඥාතීන්ගේ සිරුරු නිවසට ගෙන ඒමටවත් ඉඩ නොදී ආදාහනය කරනු ලබන නමුත් ඒ කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වාර්තවෙන් නිකුත් නොවීම නිසා ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රදේශවාසීන්ගේ දෝෂාරෝපණයට ලක්වන අවස්ථා තිබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය වැඩිදුරටත් පවසයි.

Leave a Reply