පසුගිය ජනවාරි මස 27 වැනිදා එළිදක්වන ලද එජා සංවිධානයේ ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම උතුරේ සිදුවූ යුද්ධයේදී සිදුවූවා කියනු ලබන යුද අපරාධ, ආණ්ඩුව තුල සිදුවන හමුදාකරණය, සුළු ජාතින් ඉලක්ක කරමින් සිදුකරන ජාතිවාදී ප්රහාරයන් උත්සන්න කිරීම, සිවිල් සමාජයට මර්දනයට තස්ත්‍ර විරෝධී පනත් යොදාගැනීම, යන කාරණා මුල් කරගනිමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමත් සමග ලොව අනෙකුත් ජාත්‍යන්තර සංවිධානද ඒ හා සමාන තවත් වාර්තාවල් රාශියක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය හා Human Rights watch සංවිධානද මේ අතර වේ.
මානව හිමිකම් කොමිසමට අනුව රජය විසින් ඇතිකරන ලද දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමේ කොමිසම රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය හා අනෙකුත් ප්රජාතන්ත්රවාදී ආයතනවලට එරෙහිව ක්‍රියාත්මක වේ. අතුරුදහන් වුවන්ගේ මව්පියන්, හිතවතුන්, ජනමාධ්‍යවේදීන්, නීතිඥයයින් ඉලක්ක කරමින් ත්‍රස්ත්‍ර විරෝධී විමර්ශන අංශ, පොලීසිය හා හමුදාව යොදවා බියගැන්වීම්, අත්අඩංගුවට ගැනීම් සිදුකෙරේ. 20 වැනි සංශෝධනයෙන් ලබාදෙන ලද විධායක බලය විසින් රටේ අධිකරණය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිළිබඳව විශ්වාශය බිඳවැටී ඇත. මෙම තත්වය හේතුවෙන් පිඩාවට පත් පුද්ගලයින් විශාල ලෙස එජා සංවිධානයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් යුධ සමයේ සිදුවූවා යයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කිරීම ලොව පුරා මාධ්‍ය වලින් ඉතා විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි. නමුත් එම කොමිසමේ කාලය අවසාන වනුයේ මාස 6කින් වුවත් ශ්‍රී ලංකා රජය පවසනුයේ හමුදාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත හා ඒවා ඔප්පු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි. මෙම කොමිසම සම්බන්ධයෙන් Human rights watch සංවිධානය සඳහන් කරනුයේ රාජපක්ෂ රජය විසින් යුද්ධය අවසානයේ සිට සිදුකරනු ලබන මෙම සුපුරුදු උපක්‍රම වලට ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම නොරැවටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ කොමිසම් මේ වනවිට විහිළුවක් බවට පත්ව ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයද පවසයි.
මේ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ රටේ සියළුම ජනතාවට එරෙහිව පහරදීම්, බියකිරීම්, අත්අඩංගුවට ගැනීම් නොකඩවා සිදුවන බවයි. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රිලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිහඬව නොසිටිය යුතු බවට එම සංවිධානය අවධාරණය කරනු ලබයි.
මෙම සියළු වාර්තා ගොනු කරගනිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම පෙබරවාරි 22 වනදා සිට මාර්තු 23 වනදා දක්වා රැස්වෙනු ඇත. එහිදී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනුයේ ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩොනියාව, මොන්ටෙන්ග්රෝව හා එංගලන්තය යන රටවල්ය. මෙම සියලුම රටවල් ඇමරිකානු හිතවාදී රටවල් වේ. කෙසේ වෙතත් ජිනීවා කොමිසම යනු එජා සංවිධානයේ ඇති ස්වාධීන ආයතනයක් වන අතර එමගින් ලබාදෙනුයේ නිර්දේශයන් (Recommendation) විනා ඒවා ආරක්ෂක මණ්ඩලයේ හෝ මහා මණ්ඩලයේ ගනු ලබන නියෝග (Resolution) ලෙස පිලි නොගනී. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයන් බැඳී නැත. නමුත් දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට එය එතරම් පහසු නැත.
කෙසේ වෙතත් මිෂෙල් බෂ්ලේ මෙවර ඉතා බැරෑරුම් විධි විධාන රාශියක් ඉදිරිපත් කර ඇත. ඒ අතර ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් හා කොටි නායකයින් ඉලක්ක කරමින් ඔවුන් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට කැඳවන ලෙසත්, ඔවුන්ගේ ගුවන් ගමන් හා දේපල තහනම් කරන ලෙසත් ඉල්ලා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධ පිලිබඳ රෝම ගිවිසුමට අත්සන් තබා නැත. එහෙත් එය එ.ජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එවැනි යෝජනාවක් ලෝක සාමයට තර්ජනයක් වැනි කාරණය මත පමණක් පදනම් විය යුතුව ඇත. 2009 යුධ සමයේදී ප්‍රංශය හා එංගලන්තය විසින් යුද්ධයට මැදිහත් වීම ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ යුද්ධය “ලෝක සාමයට තර්ජනයක්” යන්න තර්කය ඔස්සේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කලද එය රුසියාව හා චීනය නිශේධ බලය යොදා පරාජය කළහ. ඒ අනුව යුද්ධයක් නොමැති වර්තමානයේ එවැනි යෝජනාවක් සම්මත වීමේ ඉඩක් ඇතැයි සිතිය නොහැක.
නමුත් ජිනීවා කොමිසමේ යෝජනාව පිටුපස පැහැදිලිවම බටහිර හා ඇමරිකාව සිටින බව පැහැදිලිය. චීනය සමග ඇති ලෝක බල අරගලයේදී ශ්‍රී ලංකාව තුල තමන්ගේ ආර්ථික හා යුධ බලය රඳවා ගැනීමට රාජපක්ෂ පාලනය යටත් කර ගැනීමට ඔවුනට අවශ්‍යවේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මුලාශ්‍ර වන සංචාරක, ඇඟලුම්, තේ, සේවා හා ඩයස්පෝරාවේ මුදල් රැඳී පවතිනුයේ යුරෝපීය හා ඇමරිකානු වෙළඳපල මත නිසා එමගින් ඔවුනට ඉතා ලෙහෙසියෙන් එම අරමුණ සපුරා ගත හැක.
එයට මුහුණදීම සඳහා චීනයට කළහැකි මැදිහත්වීම ඉතාමත් සීමිතය. අවසානයේදී සිදුවිය හැක්කේ බටහිර කොන්දේසි වලට අනුව යමින් රටේ සම්පත් විකිණීම පමණක් වන අතර යුධ අපරාධ නිසා පිඩාවිඳින වින්දිතයින්ට මෙවරද යුක්තිය හා සාධාරණය ඉටුනොවනු ඇත. එහෙත් මානව අයිතිවාසිකම් යනු බටහිර ලිබරල් ලෝකයේ හා විදුලි පුටුව පෙන්වා ලංකික ජනතාව රවටා රාජපක්ෂලාගේ රුකඩ රජය ආරක්ෂා කිරීමේ තවත් උත්සාහයක් පමණක්ද යන්න තවදුරටත් ඔප්පුවනු ඇත. යුද්ධයෙන් බැට කෑ සිංහල, දෙමල හා මුස්ලිම් ජනතාව යථාර්තය වටහා ගන්නා තුරු ඔවුන් මෙසේ සෑම වසරකදීම රැවටෙනු ඇත.