ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඉදිරිපත්ව ඇති ව්‍යාපෘතිය හරහා ත්‍රිකුණාමල වරායත් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
“බලන්න මොකක්ද මේ කියන්නෙ සභාපති විජේසිංහ ? ත්‍රිකුණාමල වරාය භූමියට අයිති අක්කර 500න් 100ක් පළවෙනි අදියර වශයෙන් අරගෙන ටැංකි 24ක් ඉදිකරලා අදියර 3කින් බිලියන 10.2ක් වියදම් කරලා SPPM එකකුත් දානවාලු. SPPM, ඒ කියන්නෙ බෝයාවක් අවම වශයෙන් ඩොලර් මිලියන 10ක්වත් වෙනවා. ඒකකුත් දාලා ටැංකි 24කුත් හදලා ගොඩනැඟිලිත් හදලා මුහුදට ලයින් එක්කුත් දානවාලු බිලියන 10න්.
ත්‍රිකුණාමල වරායත් අපට අහිමි වෙනවා විතරක් නෙවෙයි ඉන්දියාවට නතු වෙනවා. මෙතුමා කියනවා මේ සමාගම පිහිටුවන්නෙ අපියි, වරාය අධිකාරියයි, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමයි ඒකාබද්ධව කියලා. කවුද මෙවැනි බලයක් මේ ආණ්ඩුවට දුන්නෙ ? කැබිනට් එකේ මේක සාකච්ඡා කළාද ?” යනුවෙනුයි ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ.
ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ “ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව අපි බලාපොරොත්තු වෙනවා තෙල් ගබඩා සංකීර්ණයක් හැටියට එතන සංවර්ධනය කරන්න. අපි හඳුන්වන්නෙ ඒක සවුත් ඒෂියන් පෙට්‍රෝලියම් හබ් කියලා. එතෙන්දි සිද්ධ වෙන්නෙ තෙල් අයිතිකරුවන්ට ගබඩා කිරීමේ පහසුකම් සැලසීම.
දැනට මුල් අදියරේ කටයුතු හැටියට අපි ඉඩම් හඳුනාගෙන තිබෙනවා, සංවර්ධන සැලැස්මක් හදලා තියෙනවා, ශක්‍යතා අධ්‍යනය තමයි දැන් ආරම්භ කරලා තියෙන්නෙ. ඒක මාස 3කින් අවසන් වෙයි. ව්‍යාපෘතියේ මුල් අදියර විදියට අපි වරායත් එක්ක එකඟතාවක් හදාගෙන තියෙනවා අක්කර 100කින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්න” යනුවෙනි.