සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශ විනිමයක් උපයා ගත හැකි හෙයින් ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
ජපානය හා ප්‍රංශය මේ වනවිටත් ලෝක වෙළෙඳ පොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බවද ඇමැතිවරයා පවසයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පෙරේදා (20 වැනිදා) එම ආයතනයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මහාචාර්යවරුන් වන සමන් සෙනවීර, රොහාන් වීරසූරිය, අතුල සේනාරත්න, ලක්මාල් ජයරත්න යන මහත්වරු මෙම පර්යේෂණය සිදුකර හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි බව තහවුරු කර තිබේ.
එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස අපනයන වර්ධනය කිරීමේ වගකීම තමන්ට පැවැරී තිබෙන බවත්, වෙළෙඳ පොළ විවිධාංගීකරණයට ලක් කරමින් බටහිර යුරෝපය දෙසට යොමුව තිබෙන වෙළෙඳ පොළ අප්‍රිකානු හා ආසියානු කලාපවලට යොමු කළ යුතු බවත් පවසා ඇත.
බොන්න වතුර නැති හෙටක්
කෙසේ නමුත් ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කි. වර්ග කිලෝමීටර් 59,217ක් පුරා ගංගා ද්‍රෝණි 103කි. වර්ග කිලෝමීටර් 6,393ක මතුපිට ජල ද්‍රෝණි කිසිවක් නැත. වර්ග කිලෝමීටර් 100ක පමණ වර්ෂා කාලයේදී පමණක් සක්‍රීය වන ජල ද්‍රෝණිය. ඒවායේ ජලය පවතින්නේ වර්ෂා කාලයේදී පමණි. මේ සියල්ලේම පැවැත්ම වනාන්තරය.
ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් 55%කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත්වේ. 15%ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජලප්රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි.
ලංකාවේ මිරිදිය පවතින මතුපිට භූමි පැතිරුම හෙක්ටයාර් 2,60,000කි. වසරේ කිසිදු දිනක නොසිඳෙන ජලාශ හා වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,55,000කි. සෘතුමය වශයෙන් පිරී යන වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,00,000කි. ජලගැලුම් නිම්නය වැනි විල්ලු පරිසර පද්ධතිවල ජල පැතිරුම හෙක්ටයාර් 5,000කි. මේ ආකාරයෙන් පවතින මතුපිට ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය හා ජල විදුලිබල උත්පාදනය සඳහා භාවිත වේ. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.