ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (23) දිනයේ පැමිණෙන පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට සිය ගුවන් සීමාව හරහා පැමිණීමට ඉන්දියාව අවසර ලබාදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක් සඳහා එක් වේ. මීට පෙර ඔහු පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලි සඳහා ශ්‍රී ලංකාවට පැමිණියත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ. එසේම මේ වසරේ පකිස්ථාන රාජ්‍ය නායකයාගේ පළමු විදෙස් සංචාරයද මෙය වීම විශේෂත්වයකි. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ දූත පිරිස රැගත් ගුවන් යානය අද පස්වරු 04.15ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.
ඉන්දියාව හා පකිස්තානය අතර පවතින දේශ සීමා හා දේශපාලන අර්බුද හමුවේ ඉන්දීය ගුවන් යානාවලට පකිස්තානු ගුවන් කලාපය හරහා ගමන් කිරීමත්, පකිස්තානු ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමත්, ඔවුනොවුන් විසින් තහනම් කර තිබේ. එවැනි තත්වයක් හමුවේ මෙලෙස පකිස්ථාන රාජ්‍ය නායකයට සිය ගුවන් සීමාව භාවිතා කිරීමට ඉන්දියාව අවසර ලබා දීම දෙරට අතර යහපත් සබඳතාවයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වනු ඇතැයි අනුමාන කෙරේ.
විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, කොරෝනා මෘත දේහ භූමදානයට අවසර නොදීම ඇතුළු කරුණු ඇතුළත්ව ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යෝජනවාක් ඉදිරිපත් වීමේ පසුබිමක ඉම්රාන් ඛාන් වැනි ජනප්‍රිය මුස්ලිම් රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාව වෙත කැඳවා ගැනීමට මෙරට ආණ්ඩුව කටයුතු කරනු ලැබූවේ මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රාජ්‍යයන්ගේ සහාය ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ අරමුණ සහිතව යැයි මේ පිළිබඳව විමසිලිමත් වන පාර්ශවයන් පවසති.