fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

BJPය ලංකාවට එන්නේ ලංකාවම අල්ලන්නද?

‘මේ මනුස්සයා මොකක්ද මේ කියල තියෙන කතාව? ඇත්තටම ඔහු හාස්‍යය සඳහා විහිළු කරනවද? මේක නම් වෙන්න බැහැ. මට පේන්නේ ඔහු බරපතළ, ගැඹුරු තත්ත්වයක නොවෙයි ඉන්නේ. අපේ භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලනික කටයුතු ශ්‍රී ලංකාවටත්, නේපාලයටත් ව්‍යාප්ත කරනවා කියලා ඔහු කියනවා. ඇත්තටම මේක සරදමක් නේද?’
කලකින් අසන්නට නොලැබෙන මේ අමුතුම තාලයේ කතාව මොකක්ද? ඉහත පැනය අසා සිටින්නේ ඉන්දියාවේ සිටින සුප්‍රකටම දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි විසිනුයි.

ඔහු මේ වගතුග කියා සිටින්නේ මෙයට දින කිහිපයකට පෙරදී තවත් ඉන්දීය දේශපාලනඥයකු විසින් සිදුකරන ලද එක්තරා අපූරු ප්‍රකාශයක් හේතු කරගෙනය. සුබ්‍රමනියම් ස්වාමි යනු ඉන්දීය රජයේ ප්‍රධානතම අමාත්‍ය ධුර කිහිපයක්ම දැරූ විද්වත් පරිචයක් ඇති, ඉන්දියානු භාරතීය පක්‍ෂයේ ප්‍රබලයකු වෙයි. ඔහු කාලක් පුරා ගණිත විෂය පිළිබඳව විශ්වවිiාල මහාචාර්යවරයකු ලෙසද කටයුතු කළ බුද්ධිමතකු වෙයි. සුබ්‍රමනියම් ස්වාමිගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂගේ අතිශය ලෙන්ගතු මිතුරකුද වීමය.

කෙසේ හෝ මෙවැනි වටාපිටාවක් යටතේදී මෙලෙස සුබ්‍රමනියම් ස්වාමි තම ප්‍රකාශය සිදුකළේ කුමක් උදෙසාද? එය නම් පසුගියදා ඉන්දියාවේ ත්‍රීපර ප්‍රාන්තයේ මහ ඇමැති බිප්ලාබ් කුමාර් ඩෙබ් විසින් සිදුකරන ලද ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කේන්ද්‍රකරගෙනය. කුමක්ද මේ ප්‍රකාශය. එය එම මහ ඇමැතිවරයාගේ වදනින්ම මෙසේය.

අපගේ භාරතීය ජනතා පක්‍ෂය යනු ලෝකයේම විශාලතම දේශපාලන පක්‍ෂයයි. මෙහි පසුගිය හිටපු නායක අමිත් ෂා තමයි මෙම පක්‍ෂය ලෝකයේ විශාලතම පක්‍ෂ්‍ය බව පත්කළේ. කාලයක් පුරා චීනයේ කොමියුනිස්ට් පක්‍ෂ්‍ය තමයි ලෝකයේ විශාලතම පක්‍ෂය ලෙස උදම් ඇනුවේ. එහෙත් අපගේ අමිත් ෂා පසුගිය සභාපතිත්වය දැරූ 2014 – 2020 කාලය තුළදී ඔහු අපේ පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා මහත් විශාල කැපකිරීමක් සහ මෙහෙවරක්ද ඉටු කළා. චීනයේ කොමියුනිස්ට් පාලනය අභිභවා යමින් අප ලෝකයේ ප්‍රථම ස්ථානයට ආවා. අද භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ ප්‍රාන්ත බහුතරයකම බලය පතුරුවාගෙන අවසානයි. මෙවැනි තත්ත්වයක් යටතේ අපි තව තවත් ශක්තිමත් වෙන්න ඕනෑ.

අමිත් ෂා පසුගියදා අපගේ ත්‍රීපුර ප්‍රාන්තයට ආවා සුහද දේශපලානික සංචාරයක් උදෙසා, එහිදී ඔහු ප්‍රකාශ කර සිටියා. භාරතීය ජනතා පක්‍ෂයේ කටයුතු ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්ත කර යුතුයි කියා. ඔහු පවසා සිටියා ඉන්දියාවට යාබද හිතවත් රාජ්‍ය දෙකක් වන ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ පක්‍ෂ කටයුතු ව්‍යාප්ත කළ යුතුයි කියා. එසේම ඉන්පසුව ආණ්ුවක් පිහිටුවීම සඳහා එම රජයන් තුළදී ලබන ජයග්‍රහණයන් භාවිත කළ යුතුයි කියලා. ඒ නිසා අප ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ අපගේ පක්‍ෂයේ කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කරනවා.’ යැයි පැවැසීය.

ඇත්තටම මොකක්ද මේ අරුම, පුදුම කතාන්දරය? සුබ්‍රමනියම් ස්වාමි පැවැසුවා සේ මෙය විකට කතාවක්ද? එසේත් නැතිනම් ‘හතරබීරි’ කතාවක්ද? මුලදී ඔහු එසේ ප්‍රකාශ කළත් පසුව මෙම කතාන්දරයෙහි යම් සත්‍යයක් ඇති බැව් අවබෝධ කරගෙන ඇත. මෙම වගතුග මෙයට දින කිහිපයකට පෙර මහා භාරතය හරහාම ශ්‍රී ලංකාවට ඇසෙන්නට විය. මෙය අප රටේ බොහෝ දේශපාලනික පාර්ශ්ව වෙත ඇසුණු විට කඩි ගුළක් මෙන් ඇවිස්සෙන්නට විය. එසේම සාමාන්‍ය පොදු ජනතාව පවා මහත් කලබලයට පත්විය. ‘අලි මදිවට කොටි’ යැයි කිව්වා සේ, ශ්‍රී ලංකාවේ දේශපාලනයට මෙසෙ ඉන්දියාවෙන් කඩාගෙන වැටෙන්නට යන්නේ කුමන භීතිකාවක්ද යැයි බොහෝ දෙනකු කලබලයට පත්වූ අතර, එම තත්ත්වය සර්ව සාධාරණය. ශ්‍රී ලංකාවේ මෙතරම් දේශපාලන පක්‍ෂ තිබියදී ඉන්දියාව මෙරට දේශපාලනයට අත පෙවීමට යෑම විටෙක අහස හා පොළොව තරම් වෙනසක් ඇති කතාන්දරයක් විය. තත්ත්වය එසේ වුවද, ඉන්දියාවේ ප්‍රධානතම දේශපාලකයන් මේ කතාව පවසා ඇත්තේ සත්‍ය ලෙසට බැව්, මේ වන විට සියයට, සියයක්ම ස්ථාවරව පෙනීගොස් ඇත. ඒ නිසා මෙම අපූරු වගතුග ගැන අපි ඉතා සියුම්ව සොයා බලමු.

ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂය ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසීමට කටයුතු සැලසුම් කරන්නේ යැයි මුලින්ම පොදු සමාජයටත්, මාධ්‍යයටත් ප්‍රකාශ කර සිටියේ ත්‍රීපුර ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා යැයි මම ඔබට මුලින් ලියා තැබුවෙමි. සැබෑ ලෙසම මෙම පුද්ගලයා කවරෙක්ද? මොහු තවද 49 වැනි වියෙහි පසුවන තරුණ, ඉන්දීය දේශපාලකයෙකි. එහෙත් ඔහුගේ මවුපියන් පාකිස්තාන ජාතිකයන් වන අතර, ඔවුන් 1971 වසරේදී පැවැති යුද්ධයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. පසුව බිප්ලාබ් ඩෙප් නමැති දරුවා උපත ලැබුවේ ඉන්දියාවේදීය. කුඩා කළ සිට අධ්‍යාපනයට දක්‍ෂ ඔහු තම මවුපියන් සමඟ පදිංචිව සිටියේ ‘ත්‍රීපුර’ ප්‍රාන්තයේ ‘නාගර්’ ගම්මානයේය. එහිදී ඔහු නගරයේ පාසල්වල මූලික අධ්‍යාපනය ලැබූ අතර, පසුව උසස් අධ්‍යාපනයට වරම් ලැබ ත්‍රිපුර විශ්ව විiාලයෙන් උපාධියක්ද හිමිකර ගත්තේය. තම තරුණ වයසේදීම භාරතීය ජනතා පක්‍ෂය සමඟ දේශපාලනයට පිවිසි ඔහු ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර, දේශපාලනික පියවර ගණනාවක් ජයග්‍රහණය කරමින් 2018 මාර්තු 09 දා ත්‍රීපුර මහ ඇමැතිවරයා ලෙසට පත්විය. දැනට ඔහු ඉන්දීය දේශපාලනයේ ඉතා ප්‍රබල එමෙන්ම ජනප්‍රිය චරිතයක් වන අතර, ඔහු අවස්ථා කිහිපයකදීම විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයකු ලෙස ප්‍රකටය.

එම කෙටි වගතුග ලියා තැබුවේ ඔබට, ඔහු හඳුනා ගැනීම පහසුවනු සඳහාය. මෙහිදී බිල්පාබ් කුමාර් ඩෙප් තම නවතම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේ, තමන්ගේ දේශපාලන නායකයකු වන අමිත් ෂා නමැති ප්‍රවීණයාගේ ප්‍රකාශයක් පදනම් කරගෙනය. එසේ නම් මෙම අමිත් ෂා කවුදැයි දැන් ටිකක් සොයා බලමු.

අමිත් අනිල් ෂා යනු ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ දැවැන්ත බලකණුවකි. මම මෙහි තැනක ලියා තැබූ පරිදි ඔහු 2014 සිට 2020 දක්වා භාරතීය ජනතා පක්‍ෂයේ සභාපතිත්වය නොහොත් නායකත්වය දැරීය. මොහු වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම සහායකයකු වන අතර, වත්මන් ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස දැනට කටයුතු කරයි. දැනට 56 වැනි වියෙහි පසුවන අමිත් ෂා ගුජරාට් රාජ්‍ය විශ්වවිiාලයේ විiා උපාධිධරයකුද වෙයි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා දෙවරක්ම අගමැති ධුරය සඳහා පත්කිරීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අමිත් ෂා. නිරන්තරයෙන්ම තම පක්‍ෂයේ සාමාජිකත්වය ඉහළ දමා ගැනීම සඳහාද දැඩි වෙහෙසක් ගන්නා පුද්ගලයෙකි. ඔහු පක්‍ෂයේ නායකත්වය දැරූ වසර 6ක කාලයට පක්‍ෂයේ සාමාජිකත්වය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ දමා ගැනීමට ඔහු කටයුතු කළ අතර, ලෝකයේ විශාලතම දේශපාලන පක්‍ෂය ලෙස කිරුළ දැරූ චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ එම කිරීටය අහිමිව ගොස් එය භාරතීය ජනතා පක්‍ෂය මතට වැටුණේය. පක්‍ෂයේ සාමාජිකත්වය වැඩිකර ගැනීමට ඔහු නොයෙකුත් ආකාරයේ ක්‍රමවේදයන් සහ ඉතා සූක්‍ෂ්ම උපක්‍රමයන්ද භාවිත කළේය. මොහු ඉන්දියාවේ කෙතරම් ජනප්‍රිය දේශපාලකයකුද යත් ඔහු තම ගාන්ධිනගර් අසුන 2019දී ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 5,57,014 කිනි. එය 44%ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ ඉන්දියානු දේශපාලනය ව්‍යාප්ත කළයුතු යැයි පැවසූ දේශපාලකයන් දෙදෙනාගේ සැබෑ වගතුග දැන් ඔබට පැහැදිලි ඇතිය. මෙහිදී දැන් අපට අවබෝධ වන කරුණක් නම් මෙම ආන්දෝලනාත්මක කතාව නිකම් ආවාට, ගියාට කියූ කතාවක් නොවන බැව්ය. එයට ඇති හොඳම සහ විනිවිද පෙනෙන සාක්‍ෂිය නම් අමිත් ෂා නමැති ප්‍රබල දේශපාලකයාගේ වතගොතයි. එනම් ඔහු භාරතීය ජනතා පක්‍ෂයේ සාමාජිකත්වය ලොව අංක එකට ගෙන ඒමට කටයුතු කිරීමයි. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ ඔහුට ඉන්දියාවට යාබද දේශයන් තුළින්ද තම පක්‍ෂය වෙත යම් උද්දීපනයක් ලබාගැනීමය. ඔහුගේ එම කර්තව්‍යය සඳහා ප්‍රධාන සහායකයාවී සිටින්නේ බිප්ලාබ් කුමාර් ඩෙබ් නමැති ත්‍රීපුර මහ ඇමැතිවරයාය. පසුගියදා ඔහු මෙම ආන්දෝලනය ඇති කරමින් තවදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

‘මහා භාරතයේ (ඉන්දියාවේ) සබඳකම් අපගේ යාබද රටවලට ව්‍යාප්ත වුණේ අද ඊයේක නොවේ. වසර දහස් ගණනක සිට අපගේ ඉන්දියානු සංස්කෘතිය සහ දර්ශනය ඒ රටවලට විකාශනය වුණා. නේපාලය සහ ශ්‍රී ලංකාවත් එවැනි රටවල් දෙකක්. ඒකේ කිසිම අලුත් කතාවක් නැහැ. අපගේ භාරතීය ජනතා පක්‍ෂයත් මෙලෙස රටවල් තුළ තම සුහදතාවය වර්ධනය කරගන්න කාලයක සිට කටයුතු කරනවා. අප දේශපාලනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන්නේ එවැනි වටාපිටාවකදීයි. මම මේ වැඩ පිළිවෙළ ගැන අමිත් ෂා අමාත්‍යවරයා සමඟ කිහිප වතාවක් සාකච්ඡා කරලා තියෙනවා. එසේම අපි එම සැලසුම්ද පිළියෙල කරගෙන යනවා’ යැයි පවසා ඇත.

හෙට, අනිද්දාම ඉන්දියාව අපට කරන්නට යන දේ දැන් ඔබට හොඳින්ම පැහැදිලි ඇතැයි සිතමි. මේ ‘අලි මදිවට කොටි’ යන කතාව ඇසෙත්ම ශ්‍රී ලංකාව තුළින් අපූරු ප්‍රතිචාර රැසක් එළිදැක්වෙන්නට විය. පළමුවැනියෙන්ම බියට පත්වූයේ දැනට යාන්තමින් ජාම බේරාගෙන සිටින දේශාපලකයන්ය. මේ මොන කරුමයක් පාත්වන්නට යන්නේ දැයි ඔවුන් මහත් සංත්‍රාසයට පත්වූහ. අනෙක සැනෙන් කලබලයට පත්වුණු පිරිස වූයේ මහා සංඝරත්නයය. කිසිදු කලක අසන්නට නොලැබුණු මෙම අරුම පුදුම කතාව නිසා ජනතාවද කිසිවක් කියාගන්නට නොහැකිව නිරුත්තර විය. සැබෑ ලෙසම මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ගැන නිසි නීතිමය වටාපිටාවක් කිසිවකුත් දැන සිටියේ නැත. ඒ හෙයින් එහි නිසි තත්ත්වය අවබෝධ කර ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ පළහිලව්ව ගැන හොඳින්ම කරුණු දත හැකි වන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව මගිනි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතගසා ඉන්පසුව මෙහි මැතිවරණයන්ටද පිවිසීමට උත්සාහ කිරීමේ කතාව ගැන ඉතාමත් වැදගත් තොරතුරු කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත.

දැනට තිබෙන නීති – රීති යටතේ විදෙස් රටක තිබෙන දේශපාලන පක්‍ෂයක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වීමේ සහ මෙහි මැතිවරණ සඳහා තරග කිරීමේ හැකියාවක් නැහැ. විදෙස් රටවලට එහෙම පක්‍ෂ, ශාඛා මෙහි ස්ථාපිත කරන්න බැහැ. නීතියෙන් ඒ සඳහා අවසර දෙන්න බැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන අලුත් පක්‍ෂයක් නම් ඒක ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගොඩනැඟෙන්න ඕනෑ. ඊට පසු වසර කිහිපයක් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි පිළිගත් පක්‍ෂයක් ලෙස රටතුළ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එසේ නැතිව ලෝකයේ කිසිම ප්‍රබල පක්‍ෂයකටවත් ශ්‍රී ලංකාව තුළ ශාඛා හදාගෙන මැතිවරණ තරග කරන්න බැහැ.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයට වුණත් ඒ දේම පොදුයි. ඒ වගේම විදේශ රටක පක්‍ෂයකට අපේ රටේ පක්‍ෂයක් සමඟ සංධානගත වෙලා මැතිවරණ තරග කරන්නත් බැහැ. අපගේ තිබෙන නීතියට අනුව මේ කිසිවක් කරන්න බැහැ.’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව පසුගියදා මහා අර්බුදයකට මුහුණ දුන්නේ, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ වරාය පර්යන්තයත් ඉල්ලීමේ ප්‍රශ්නයක් මතය. එය යම් ආකාරයකින් නිශ්ශබ්දතාවයකට පත්ව දින කිහිපයක් යන්නට මත්තෙන් මෙම ගාලගෝට්ටිය ඇරැඹී ඇත. මෙම තත්ත්වය පිළිබඳව තවත් වැදගත් නීති ක්‍ෂේත්‍ර විද්වතකු කරුණු හෙළිකර ඇත. ඔහු ප්‍රකට නීති විශාරදයකු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභ මහානාමහේවාය. ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම, විදේශ විශ්වවිiාලයන්හිද නීති විෂය පිළිබඳව මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරමින් සිටියි. ඔහු මෙම අර්බුදය ගැන මාධ්‍යයට කරුණු අවධාරණය කර සිටියේය.

භාරතීය ජනතා පක්‍ෂයේ හිටපු නායක සහ වත්මන් ඉන්දීය ස්වදේශ අමාත්‍ය අමිත් ෂා මහතා ප්‍රකාශ කරලා තිබනෙවා, භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩු තවත් රටවලදී ආරම්භ කළ යුතුයි. ඒ සඳහා සැලසුම් තිබෙනවා කියලා. ඒ සඳහා රටවල් දෙකක් තෝරගෙන තිබෙනවා. එකක් ශ්‍රී ලංකාව, අනෙක නේපාලය. මේ ප්‍රකාශය ත්‍රීපුර මහ ඇමැතිවරයා විසින් මාධ්‍යයටද ලබාදී තිබෙනවා. ඇත්ත වශයෙන්ම මා හිතන්න් මේ ප්‍රකාශය එතුමා විසින් සිදුකරලා තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිසි අවබෝධයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් හෝ නැතිව කියන එකයි. එක්සත් ජාතීන්ගේ රටවල් අතරින් ඉන්දියාව මේ කලාපයේ බලවතා වෙන්නට පුළුවන්. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සෑම රටක්ම එකහා සමානයි. ඒ රටේ ස්වාධිපත්‍යය, ඒකීයභාවය, ස්වාධීනතාවය සම්පූර්ණයෙන්ම එම ව්‍යවස්ථාවෙන් පිළිඅරගෙන තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ කිසිම දේශපාලන පක්‍ෂ්‍යක් හෝ වෙනත් කිසිම අනබද්ධ ශාඛාවක් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ මැතිවරණවලට තරග කරන්න ඕනෑ නම් ඒ අදාල නීති – රීති සහ අනෙක් අවශ්‍යතා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පැහැදිලිවම සඳහන් වෙලා තිනෙවා. ඕනෑම පක්‍ෂයක් මැතිවරණයකට තරග කිරීමට අවශ්‍ය නම්, එම පක්‍ෂය ලියාපදිංචිවෙලා වසර 7ක් අනිවාර්යයෙන්ම දේශපාලනයේ නිරතව සිටිය යුතුයි. ඒ නිසා මෙම ඉන්දීය ප්‍රකාශය නිකම් හුදු ප්‍රකාශයක් විතරයි. ඒ නමුත් මෙම ප්‍රකාශය තුළ වක්‍රව නවයටත් විජිත වාදයක් පෙන්නුම් කරනවා. මේක රටක ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. ඒ වගේම සිවිල් දේශපාලන සම්මුතිය උල්ලංඝනය කිරීමක්. ඒ වගේම පසුගියදා නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාත් ප්‍රකාශයක් කරලා තිබුණා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂාකර ගැනීමට ඉදිරියට එනවා කියලා. මෙයින් සිදුකෙරෙන්නේ රට තුළ තිබෙන දේශපාලනයට ඇඟිලි ගසා රට තුළ අවුල් වියවුල් තත්ත්වයක් ඇති කිරීමයි.’

මෙම අර්බුදය පිළිබඳව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා තවදුරටත් පවසා ඇත්තේ, මෙවැනි සැලැස්මක් ඉන්දියාවට ඇත්නම්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලන අයිතීන් පිළිබඳ කමිටුවට එය ඉදිරිපත් කර පරාජය කිරීමට කටයුතු කළ යුතු බැව්ය.

හෙට අනිද්දාම ඉන්දියාවෙන් කඩාපාත් වන්නට යන මෙම ගිනි ගෙඩියට ශ්‍රී ලංකාව තුළ අතිශය බියට පත්වූ ප්‍රධානතම පාර්ශ්වය වන්නේ උතුරේ වත්මන් දමිළ දේශපාලකයන්ය. ඔවුන් මෙම වගතුග ඇසූ සැනින් මහත් සංත්‍රාසයට පත්ව තුෂ්ණිම්භූත විය. ඉන්දියාවෙන් මෙහි පැමිණ දමිළ ජනතාවගේ සුබසිද්දිය උදෙසා දේශපාලනය කරන්නට ගතහොත් තමන්ට යනඑනමං නැතිවන බැව් ඔවුහු සැනෙන් අවබෝධ කර ගත්හ. මෙවැනි තත්ත්වයක් යටතේ දමිළ ජාතික සංධානයේ (ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය) ප්‍රධානතම දේශපාලකයන් රැස්ව පසුගියදා යාපනයේදී විශේෂ රැස්වීමක්ද පවත්වා ඇත. එම සාකච්ඡාවේ නිසි තොරතුරු මාධ්‍යයට ලබාදී නැති අතර, දමිළ ජනතා ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අදාල සාකච්ඡාව පැවැත්වූ බැව් වාර්තා විය.

කෙසේ හෝ භාරතීය ජනතා පක්‍ෂයේ මෙම නවතම යෝජනාවලට ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂය තමන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. ‘භාරතීය ජනතා පක්‍ෂය උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ කටයුතුවලට ඇඟිලි ගැසීමටයි. මෙසේ රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සම්පූර්ණයෙන්ම ජාතික විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. අප තමන්ගේ යාබද රටවලට ගරුත්වය දැක්විය යුතුයි. සාධාරණ විය යුතුයි’ යැයි ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ලෝකයේ විශාලතම දේශපාලන පක්‍ෂය වශයෙන් ලෝක වාර්තාවක් තබා තිබෙන ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ වත්මන් සාමාජිකත්වය කෝටි 18ක් වෙයි. ලෝකයේ දෙවැනියට විශාලතම දේශපාලන පක්‍ෂය ලෙස සැලකෙන චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ වත්මන් සාමාජිකත්වය කෝටි 10ක් පමණක් වෙයි. මේ ආකාරයට බලන විට ලෝකයේ කිසිදු දේශපාලන පක්‍ෂයකට තම සාමාජිකත්වයේ සංඛ්‍යාව අතින් භාරතීය ජනතා පක්‍ෂය මායිමකටවත් පැමිණිය නොහැකිය. එම පක්‍ෂය මෙසේ සාමාජිකත්වය අතිශය සීඝ්‍ර ලෙස ඉහල නංවා ගත්තේ පසුගිය වසර 5ක පමණ කෙටි කාලයක් තුළදීය. ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාව අතර, ඉතා ජනප්‍රියවීම මෙයට හේතුව යැයි දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරති. 2014 වසරෙන් පසුව දෙවැනි වතාවට 2019 වසරේදීද නරේන්ද්‍ර මෝදි මැතිවරණය ජයග්‍රහණය කලේය. එසේම දැන් මෙම 2021 වසර තුළදීද ඉන්දියාව තුළ විවිධ පළාත් මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙයි. මේ නිසා නිතර ඉන්දීය දේශපාලන පොරපිටිය උණුසුම් වනු ඇතිය.

දේශපාලනයෙන් කෙතරම් ‘පුරාජේරු කතා’ පැවැසුවත්, ඉන්දියාව යනු බහුතරයක් කුසට අහරක් නැති දුප්පතුන්ගේ රාජධානියකි. එහෙත් අගමැති නිරේන්ද්‍ර මෝදි පළඳින ඇඳුමක මිල ශ්‍රී ලංකා රුපිය් 50,000ක් වන අතර, ඉහළම මිල රුපියල් ලක්‍ෂ 10ක් වෙයි. කෙතරම් අපූරු දේශපාලනයක්ද?

[ප්‍රියන්ත හෙට්ටිගේ]

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator