fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සංවර්ධන කටයුතු සඳහායැයි කියමින් හෙළි කිරීමට බලාපොරොත්තු වන වනාන්තර ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂ දෙකක් පමණ වනු ඇතැයි අනුමාන කරන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නීති සහ පරිසර නිලධාරී සජීව චාමිකර චෝදනා කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මේ වන විට මැදිහත්වෙන වනාන්තර හෙළිපෙහෙලි කිරීමේ සිදුවීම් මොනවාදැයි අප කළ විසීමකදීය. එම සිදුවීම් පිළිබඳ ඡායාරූප, ආණ්ඩුවේ නිලධාරීන් යැවූ ලිපි ආදිය තමන් සතුව පවතින බව ඔහු කීය.

ඇවන්ගාඩ් සමාගම මෑත කාලයේ පිහිටුවාගත් ඇවන්ඇග්‍රො නම් සමාගමට බන්ධනාගාර රැඳෙවියන් යොදාගෙන බඩඉරිඟු වගා කිරීමට අවසර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා 2020 ඔක්තෝබර් 20 වැනිදා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම වෙත යැවූ ලිපියකින් අක්කර 40,000ක් ලබාදීමට එකඟ වී ඇතැයි ද ඔහු කීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොල්ලෙබැද්ද රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 5426ක් කොටස් 15කට බෙදා සමාගම් 12කට දී ඇති බවත්, ඉන් කොටසක බඩඉරිඟු වගා කිරීම අරඹා ඇති බවත් ඔහු කීය.

මධ්‍යම පරිසර අධිකාරිය 2020 ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යවන ලද ලිපියකින් ඒ බව තහවුරු වන බව ඔහු පෙන්වාදුන්නේය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අංක ව්‍යා/පු/1/ 2/2020 අංකය දරණ ලිපියෙන් මොනරාගල, අනුරාධපුර සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනේ අක්කර අසූදාහක් බඩඉරිඟු වගා කරන්න ඉල්ලීම් කර ඇතැයි ඔහු කීය.

පසුගිය වසරේ නොවැමබර් 02 වැනිදා කන්තලේ සීනි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ කේ.එස්.ටී පෙරේරා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන වෙත ලිපියක් යවා තිබුණු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කන්තලේ අක්කර 2000ක ප්‍රදේශයක් දැනටත් සුද්ධ කර ඇති බව එම ලිපියේ සඳහන්ය.

සෝමාවති වනෝද්‍යානයේ මායිම් වෙනස් කර අක්කර තුන්දහසක ප්‍රමාණයක් වෙන් කර ඇති බවත්, කන්දකාඩු ප්‍රදේශයේ අක්කර අටදාස් පන්සීයක ප්‍රමාණයක් කොටස් කරමින් සිටින බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ දෙමළිය වන්දම ප්‍රදේශයේ අක්කර හයදහසක් පැලවත්ත සීනි සමාගම හෙළි කරන බවත් ඔහු කීය.

මීට අමතරව සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු එකතු කර තිබෙන බව ඔහු පැවසීය.

පරිසරයට ආදරය කරපු කොල්ලන්ට කෙල්ලන්ට ජනාධිපති බූට් එක තිබ්බා – එරන්ද

මේ අතර “මේ වනවිට ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර කියලා ගම්පුරා යන්න පටන් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඩෝසරයත් රට වටා යන්න පටන් අරගෙන; රට පුරා පරිසර පද්ධති විනාශ කරන්න පටන් අරගෙන. ජනවාරි 30වෙනිදා තණමල්විල කුකුල්කටුව ගම්මානයේ කරපු පිළිසඳරත් එක්කම රටේ සංවාදයක් ආවා දහයියාගල අභයභූමිය විනාශ කරන්න පටන් අරගෙන කියලා. සමාජවාදී තරුණ සංගමය විදියට අපි ඒ පිළිබඳ සොයා බලන්න පෙබ. 20 සහ 21 දෙදින දහයියාගලට ගියා. ජනවාරි 30 සිට මාර්තු 01 දක්වා මාසයක් ඇතුළත දැවැන්ත විනාශයකට දහයියාගල රක්ෂිතය පත්වෙලා. දහයියාගල අභයභූමිය අක්කර 6635ක භූමියක් තිබෙනවා. 2002 ජූලි මාසයේ 07 වෙනිදා තමයි මෙය අභ්‍යභූමියක් ලෙස නම් කරලා තිබෙන්නේ. දහයියාගල අලිමංකඩ හරහා දිනකට වන අලියන් 30ක් පමණ එහා මෙහා ගමන් කරන බව පරිසරවේදීන් කියනවා. අභයභූමිය පිටතින් ගම්මාන 30ක් පමණ තිබෙනවා. සමනළ වැවේ සිට කුමන ජාතික වනෝද්‍යානය දක්වා අලි ගමන් කරන බිම්තීරුවේ තමයි දහයියාගල අභයභූමිය මුණ ගැසෙන්නේ.” සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර පවසයි.

මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

දහයියාගල අභයභූමිය විශාල විනාශයකට ලක්වෙලා තියෙන බව අපි ඇස් දෙකෙන් දුටුවා. ඡායාරූප විඩියෝ අප සතුව තිබෙනවා. අක්කර ගණනාවක් ජනාධිපතිගේ ඩෝසරයට යටකරගෙන ගිහින් තිබෙනවා. අවුරුදු 75ක් 100ක් පැරණි ගස් කපා දමා තිබෙනවා. ජනාධිපතිවරයා කිව්වේ පාරම්පරික ඉඩම් ගොවියන්ට වගා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් අක්කර සිය දහස් ප්‍රමාණයක් අලුතින් විනාශ කරලා වගාබිම් බවට පත්කරලා තිබෙනවා. නමුත් ගමේ මිනිස්සු නෙවෙයි මේ ඉඩම් හෙළිපෙහෙළි කරන්නේ. ගමේ මිනිස්සුන්ට ඩෝසර් දාලා කැලෑ කපන්න වත්කමක් නැහැ. ඩෝසරයකට දවසක කුලිය ලක්ෂ තුන හතර වෙනවා. පිටින් පැමිණි කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් තමයි මේ දහයියාගල වන විනාශය කරන්නේ.

ඒ වගේම අපි දැක්කා අඩි විස්ස තිහ උස යකඩ වැටවලින් අලිවැටවල් නිර්මාණය කරලා තිබෙනවා. යෝධ අලි වැටවල් තමයි මේ ව්‍යාපාරිකයින් විසින් හදල තිබෙන්නේ. නමුත් ගමට අලි එනවට ගහන අලිවැට ලාඩප්පා කෝටුවලින් ගහපු මැස්සක් වගේ. අලින් ඉන්න භූමිය අත්පත් කරගෙන දැවැන්ත අලිවැටවල් නිර්මාණය කර තිබෙනවා. ව්‍යාපාරිකයෝ ලක්ෂ තිහ, හතලිහ, පනහ විදයම් කරනවා අලිවැටවල් ගහන්න. මෙවැනි අලිවැටවල් ගහන්නේ ගමේ මිනිස්සු නෙවෙයි කියලා පැහැදිලියි. ගමේ මිනිස්සුන්ගේ ජීවිත ගමේ මිනිස්සුන්ගේ වගා ආරක්ෂා කරන්න මෙවැනි අලිවැටවල් නිර්මාණය නොවෙන බවත් ඉතාම පැහැදිලියි.

තේක්ක සහ බුරුත ගස් කපා දමා විශාල දිග වැටවල් නිර්මාණය කරලා තිබෙනවා. එක ව්‍යාපාරිකයෙක් හෝටලයක් ගොඩනගන්න ආරම්භ කර තිබෙන බව ගමේ වැසියන් කියනවා. කැලේ ඇතුලට යන්න අක්කරය දෙක හෙළිකරලා තිබෙනවා. ඇතැම් ස්ථාන අක්කර සීය දෙසීය හෙළිකරලා තිබෙනවා. අපි පසුගිය පෙබරවාරි 20 සහ 21 දහයියාගලට යනකොට ඒ දින දෙකෙත් කැලෑ කපපු ස්ථාන දැක්කා. මේ වනවිට රාත්‍රී කාලයේ අලි වෙඩි දමා අලි එළවා දමමින් කැලෑ සුද්ද කරන්න පටන් අරගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් කරන අමනෝඥ වැඩ නිසා කැලෑ වල ඉන්න ඉන්න අලි කැලෑවලින් ගම්වදින්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවිත, වගා, ගෙවල් දොරවල් විනාශ වෙන අලිමිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර 2008 වර්ෂයේදීත් දහයියාගල අභයභූමිය විනාශ කරන්න සූදානම් වුනා. මේ වනවිටත් එම විනාශය යළි ආරම්භ වෙලා. ගමේ වැසියන් බයෙන් ඉන්නවා. මේ වනවිනාශයට එරෙහිව ගම්වාසීන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා තිබෙනවා. අපි සමාජවාදී තරුණ සංගමය ලෙස කියනවා මේ පරිසර විනාශයට එරෙහි වීම තනි පුද්ගල ක්‍රියාවක් නෙවෙයි කියලා. සර්ගේ ඩෝසරයට එරෙහිව අපි පෙරමුණ ගත යුතුයි.

මේ වනවිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට ඉඩමක් වෙන් කරන්න කියලා හම්බන්තොට, වල්සපුගල ගොවියෝ උද්ඝෝෂණයක් කරනවා. මේ ප්‍රශ්නය ආවේ 2011දී. එදා හිටපු රාජපක්ෂ ආණ්ඩුව අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙලි කළා වරාය ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා හදන්න කියලා. අලි ඉන්න කැලෑ තමයි ඒ විදියට විනාශ කළේ. ඊටපසුව අලි රක්ෂිතයට කියලා දැවැන්ත භූමියක් වෙන් කළා. නමුත් තවමත් ගැසට් කරලා නැහැ. ඒ භූමියත් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට වෙන් කරලා දෙන්න පටන් අරගෙන. අද ගොවියන්ට මාරාන්තික උපවාස කරන්න වෙලා අලියන්ට ඉඩමක් දීපල්ලා කියලා. මේ පාලකයින්ට ඒ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. දැන් දහයියාගල ජනතාවටත් තියෙන්නේ එවැනි බියක්. ජනාධිපතිගේ මෝඩ තීරණ නිසා කැලෑ කපපුවාම අලි ගම්වදියි කියලා දහයියාගල මිනිස්සු බයෙන් ඉන්නේ. අලි දන්නේ නැහැ ජනාධිපති කැලෑ කපන්න අවසර දුන්නා කියලා.

මේ වනවිට ලෝකයේ අලිමිනිස් ගැටුම් පවතින රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වෙනවා. අපි අවධාරණය කරනවා මේක ජනාධිපතිවරයා නොදැන කරන ක්‍රියාවක් නෙවෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන්න කලින් පරිසරය ගැන විශාල පුරාජේරු කිව්වා. නමුත් බලයට පැමිණ ඉතාම සුළු කාලයකින් පස්, වැලි කපන්න තිබුණ බලපත්‍ර අහෝසි කරලා දැම්මා. හිතේ හැටියට පස් වැලි කපන්න, ප්‍රවාහනය කරන්න අවසර දුන්නා. චක්‍රලේඛ අහෝසි කරලා දැම්මා. ගම සමඟ පිළිසඳර කියලා ගමට ගිහින් කිව්වා ‘මගේ වචනය තමයි ගැසට් එක, මම කියන දේ ක්‍රියාත්මක කරන්න’ කියලා. නිලධාරීන්ට බලපෑම් කලා නඩු ඉවත් කරගන්න කියලා. දැන් රට පුරා පරිසරය විනාශ කිරීමේ රැල්ලක් පටන් අරගෙන තිබෙනවා. ලංකාවේ ඉන්න කූඨ ව්‍යාපාරිකයින් තමන්ගේ කළු සල්ලි වියදම් කරමින් ජනාධිපතිගේ අනුදැනුම ඇතිව කෑලෑ කපමින් ඉඩම් අල්ල ගන්න පටන් අරගෙන තිබෙනවා.

පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා. ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා මේ වෙනකොට. මිනිසුන්ගේ වන සතුන්ගේ ජීවිත අහිමි කරන තැනට පත්වෙලා. අනාගතයේදී අපිට ඔක්ෂිජන් පැකට් එක කඩෙන් ගන්න තැනට පත්කරන්නද හදන්නේ. මේ ජනාධිපතිවරයා පරිසරයට ආදරෙත් නැහැ. ඔහුට පරිසරය රකින්නත් බැහැ. සර්ලාගේ සිස්ටම් එකට පරිසරය රකින්නත් බැරි බව අපි පැහැදිලිව කියනවා. ගහක කොලක වටිනාකම් නොදන්න පුද්ගලයින්ට, සිස්ටම් එකකට මේ දේවල් කියලා වැඩකුත් නැහැ. නමුත් අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්. සර්ගේ ඩෝසරයට එරෙහිව පේෂ් ටු පේෂ් සටනකට අපි සූදානම්. අපි මේ රටේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා.

වසරක් ගතවෙනකොට කෑලෑ අක්කර දසදහකට වඩා ඩෝසර් කරලා – සංජය විශ්වනාත් ( සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික )

මේ ජනාධිපතිවරයා ගමන ආරම්භ කළේ තමන්ගේ නිවසේ පැළයක් සිටුවලා. නමුත් බලය ගත්තට පස්සේ මුලින්ම කළේ පස්වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කරලා, රක්ෂිත අවශේෂ කැලෑ සඳහා තිබුණ චක්‍රලේඛ ඉවත් කරලා පරිසර විනාශයට පාර කපන එක. මේ අවුරුද්දක් ගෙවෙන විට අපේ රටේ ඉතිහාසය වැඩිම වේගයෙන් පරිසර විනාශ කළ අවුරුද්ද බවට පත්වෙලා.

ආනවිලුන්දාවේ අක්කර දෙකක රැම්සා තෙත් බිම් ඩෝසර් කරලා දැම්මා. වනාතවිල්ලුව අක්කර 10ක්, ගල්වලයාය පොල්ලේ බැද්දේ ආදිවාසීන්ට අයත් රක්ෂිතයේ අක්කර 5426ක් මේ වෙද්දි කපලා විනාශ කරලා තිබෙනවා. විල්පත්තුවේ අක්කර 1500ක් කෝමාරිකා වවන්න ආණ්ඩුවේ හිතවතෙකුට ලබාදීලා.

හොරොව්පතානේ රත්මලේ රක්ෂිතයෙන් අක්කර 150ක් හෙළිකරන්න අවසරල දීලා. එස් එම් චන්ද්‍රසේනගේ අනුදැනුම මත තමයි මේ විල්පත්තුවේ සහ රත්මලේ කැලෑ කපන්නේ. දහයියාගල රක්ෂිතයේ අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විනාශ කරලා. දකුණු ආසියාවේ තිබෙන එකම නාගරික තෙත්බිම වන මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් ඩෝසර් කරලා. කුරුණෑගල රජපීල්ල උද්‍යානයේ අක්කර දෙකහමාරක භූමියක් විනාශ කරලා. සීගිරිය පාමුල අගුඩණ්ගාව ප්‍රදේශයේ අක්කර දහයක ප්‍රමාණයක් දේශපාලන හිතවතුන් විසින් ඩෝසර් කරලා. සිංහරාජය මැදින් ලංකාගමට යන්න පාරක් පුළුල් කළා ජනාධිපතිවරයාගේ නියෝගයෙන්. සිංහරජයේ ගෝටියාගමට යාබද අලිමංකඩේ අක්කර අටක ප්‍රමාණයක් විනාශ කරමින් තිබෙනවා. විමලවීර දිසානායකගේ මැදිහත්වීමෙන් ජලගැලුම් නිම්නයේ යක්පුරයට කිලෝමීටර් 13ක පාරක් හදන්න යනවා විශාල පරිසර විනාශයක් සිදුකරමින්. හම්බන්තොට යෝජිත අලිකළමනාකරණ රක්ෂිතයේ අක්කර 150ක් රාජපක්ෂ හිතවතුන් විසින් විනාශ කර තිබෙනවා. කළුවරගස්වැව තබ්බෝවේ අක්කර 21ක් විනාශ කරලා දැම්මා. තණමල්විල කෝදාගොඩ අක්කර 10ක් විනාශ කරලා තියෙනවා. මීට අමතරව මේ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ මැදිහත් වෙලා රට පුරා විශාල පරිසර විනාශයක් සිදුකරමින් තිබෙනවා. ඉහතින් සඳහන් කළ ප්‍රදේශවල පමණක් අක්කර 10,000ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ඩෝසර් කරලා තිබෙනවා.

වත්මන් පාලනය බලයට ගේන්න වියත්මඟ විශාල කාර්යභාරයක් කළා. ගහක් වගේ නායකයෙක් බලයට ගේනවා කිව්වා. ගහක් වගේ නායකයා අපේ රටේ ගස්කොලන්, පරිසරය විනාශ කරමින් තිබෙනවා. ජනාධිපතිවරයාගෙන් අපි අහනවා වියත් මගෙන් උපදෙස් ගන්නේ නැද්ද කියලා. සෞභාග්‍යයේ දැක්මේ කියනවා පරිසරය 30%කින් වැඩි කරනවා කියලා. නමුත් ඇත්තට සිදුවෙන ක්‍රියාවලිය ඉතාම කණගාටුදායකයි. රතු දත්ත පොතේ සඳහන් වෙන අපේ රටේ තිබෙන එකම ගහ ගලවලා ගිහින් වෙන තැනක හිටවන්න කතා කරනවා.

සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ඉදිකරන එක නෙවෙයි. විවිධ නම්වලින් කරන ව්‍යාජ සංවර්ධන වහාම නතර කළ යුතුව තිබෙනවා. අනාගතයට අයිති පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි කියනවා. මේ අවනීතික පාලනයට එරෙහිව අපි තරුණ තරුණියන් පෙළගස්වනවා. ඒ වගේම මේ පරිසර විනාශයට එරෙහිව රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා. පරිසරයට ආදරය කරන සියලුම ජනතාවට තරුණ තරුණියන්ට මේ උද්ඝෝෂණ මාලාවට සහභාගිවෙන්න කියලා ඉල්ලනවා.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator