fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

රටේ අය වැය හිඟය පියවීමට රුපියල් ට්‍රිලියන 5 ක පමණ මුදලක් ලැබීම ප්‍රමාණවත්ය. එය එසේ තිබියදී යාපනයේ පදිංචි තරුණයෙකුගේ ගිණුමකට රුපියල් ට්‍රිලියනයක මුදලක් ගිණුම්ගත වන්නේ මීට සති කිහිපයකට පෙරය. යාපනයේ පදිංචි පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධකම් කියන තරුණයකුගේ ගිණුමට මෙම මුදල ලැබී තිබේ. ඔහු එම මුදල ගැනීමට වවුනියාවේ පිහිටි පෞද්ගලික බැංකුවකට ගියද එම මුදල ගැනීමට නොහැකි වන්නේ බැංකු ශාඛාවේ කළමනාකරු ඉල්ලා සිටින ලේඛන ලබාදීමට නොහැකි වීමෙනි.

කළමනාකරු සඳහන් කරනුයේ මෙම මුදල් ලබා ගැනීමට නම් අවශ්‍ය ලේඛන ද රැගෙන මහ බැංකුවට යන ලෙසය. නමුත් ඔහුට එම මුදල ලබාගැනීමට නොහැකි වන්නේ අවශ්‍ය ලේඛන නොමැතිවීම නිසාවෙනි. මෙම කතාව මාධ්‍ය ඔස්සේ සමාජයට පැමිණෙන්නේ මේ තරුණයාව පැහැර ගන්නට පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් පැමිණි බවට ඔහු කළ පැමිණිල්ලකට අනුවය. වෑන් රථයකින් පැමිණෙන බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයෙකු, භාණ්ඩ බෙදාහැරිම් කරන ආයතනයක කළමනාකාරවරියක ඇතුළු පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මොහාන්දාස් රාජා නම් මෙම තරුණයා සොයා එන්නේ ඔහුත් රැගෙන මෙම මුදල ලබා ගැනීමට කොළඹ කොටුවේ පිහිටි මහබැංකු මූලස්ථානයට යාමටය. ඒ ඉකුත් 17 වෙනිදාය.

තරුණයා දන්නා හඳුනන මේ පිරිස සමග කොළඹ ඒමට පිටත් වුවද ඔවුන්ගේ කතා බහ සහ සංඥා හුවමාරුවීම් මොහුට ගමන පිළිබඳ සැකයක් ජනිත කළේය. මොවුන් මේ උත්සාහ කරන්නේ තමන්ව පැහැරගෙන ගොස් සිර කර තබා ගනිමින් මුදල් ගන්නට යන සැකය ඔහු තුළ හට ගත්තේය.

වවුනියාව අනුරාධපුර මාර්ගයේ පුවරාසකුලම් පොලිස් මුරපොල ආසන්නයේදි මොහු වාහනය නතර කර ගන්නේ ශාරිරික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට බව කියමිනි. ඒ වෙනුවෙන් වාහනය නතර කළ පසු මොහු කැලයට යන මුවාවෙන් ඉදිරියට ගොස් පොලිස් ස්ථානයට දිව යන්නේය. පොලිසියට ගිය තරුණයා පිරිසක් තමන්ව වෑන් රථයකින් පැහැරගෙන යාමට උත්සාහ කරන බව පැවසීම නිසා පොලිසිය වහාම ක්‍රියාත්මක වී වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගත්තේය.

රුපියල් ට්‍රිලියනයේ කතාව එළියට එන්නේ එම අත්අඩංගුවට ගැනීමත් සමගය. පොලිසිය මෙහි ඇත්ත නැත්ත සොයද්දී තරුණයා පවසන්නේ විදෙස් සංවිධානයකින් එම මුදල තමන්ට ලද බවකි. එහෙත් ඊට අදාළව ඔහුට ඉදිරිපත් කිරීමට ලේඛන නැත. අත්අඩංගුවට පත් කණ්ඩායම පවසන්නේ මෙම තරුණයා සමග එක්ව පිහිටුවාගත් සමාගමකට ලද මුදල් මොහු තනියෙන් ලබා ගැනීමට යාම නිසා ඔහුව රැගෙන ගොස් මහ බැංකුවෙන් මෙම මුදල ලබා ගැනීමට සුදානම් වුවා මිස පැහැර ගැනීමක් නොකළ බවය.

තරුණයාගේ පැමිණිල්ල මත වෑන් රථයෙන් පැමිණි පිරිස අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එවැනි මුදලක් ලැබීම ගැන පෞද්ගලික බැංකුවෙන් කළ විමසීමට ප්‍රතිචාරයක් නොලද බැවින් පොලිසිය අධිකරණ නියෝගයක් හරහා එම විස්තර බැංකුවෙන් ඉල්ලා ඇත. එය මෙතෙක් නොලද බව වව්නියාව පොලිසිය පවසයි.

තරුණයා පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂයෙකු බැවින් ඔහු අන්තර්ජාලය ඔස්සේ කොම්පියුටර් ජිල්මාට් දමා මෙම මුදල ගෙන ඇති බව පොලිසිය සැකකරයි. එය එසේ වුවද මේ මුදල සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් ඇතිව තිබේ.
ලංකාවේ නීතිය අනුව විදෙස් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ඒ වෙනුවෙන් වෙනම ගිණුමක් විවෘත කළ යුතුය. විදෙස් මුදල් ලැබෙන්නේ කුමන රටේ කුමන ආයතනයකින් ද යන තොරතුරුද බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය. මුදල් මෙරටට එවීම සම්බන්ධයෙන් හේතු ද ඉදිරිපත් කළ යුතුය.

එසේම විදෙස් රටවලින්ද එසේ සිතු සිතු සේ මුදල් වෙනත් රටවලට යැවිය නොහැක. විදෙස් මුදල් යැවීමේදී එම රටවල්ද සීමා පනවා තිබේ. ඇතිතරම් මුදල් රටට ගෙන ඒමටත් ඇති තරම් මුදල් වෙනත් රටවලට යැවීමටත් හැකි රටවල් ද ලෝකයේ නැතුවාම නොවේ. එවැනි කලු සල්ලි තැන්පත් කරන රටවල් ලෙස පැනමා රාජ්‍ය, මොනාකෝ, ඩුබායි, ලිච්ටෙන්ෂන් වැනි රටවල් ප්‍රසිද්ධය. ඔවුන් කොතරම් මුදල් එරට බැංකුවල තැන්පත් කළ ද එහි හිමිකරුවන්ගේ තොරතුරු පිටට දෙන්නේ නැත. එසේම එහි ඇති තැන්පතු පිට කිරීමට ද හැකියාව ඇත.

තැන්පත් කිරීමේදී මෙන්ම මුදල් ආපසු ගැනීමේදී එම රටවල් වෙනත් රටවලට වඩා වැඩි බදු මුදලක් අය කර ගනී. ඒ අනුව අවශ්‍ය තරම් රහසිගත ගිණුම් පවත්වාගෙන යාමට මෙම රටවල් විදෙස් රටවල පුරවැසියන්ට අවස්ථාව දී තිබේ.
යාපනයේ තරුණයාට මෙම මුදල් ලද බව කියනුයේ ඇමෙරිකාවෙනි. එතරම් මුදලක් ඇමෙරිකාව වෙනත් රටවලට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ ලබා දෙන්නේ නැත. ඔවුන් ණය ලෙස හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් වුවද එවැනි මුදලක් රටින් පිට කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැත.

එසේනම් මෙම මුදල පැමිණියේ කුමන රටකින් ද යන ගැටලුවට විසඳුමක් තවමත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී නොමැත. අන්තර්ජාල ඔන්ලයින් ගනුදෙනුවකදී වුවද එවැනි මුදලක් හුවමාරු නොවන බවද පොලිසිය සඳහන් කරයි. එසේනම් මෙම මුදල දැමිය යුත්තේ කළු සල්ලි රඳවා තිබෙන රහසිගත ගිණුමකින් විය යුතුය. එසේ නම් එලෙස මුදල් දැමුවේ මන්ද යන ගැටලුව පැන නගියි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ද හොර රහසේ මෙරට ගිණුම්වලට මුදල් ලද බව කියවුණත් මෙවැනි විශාල මුදලක් ලැබූ බවට සඳහනක් නොමැත. අත්අඩංගුවට ගත් පිරිස මේ තරුණයා හා එක්ව ව්‍යාපාරික කටයුත්තක් කළා නම් මෙතරම් මුදලක් ලංකාවේ බැංකු ගිණුමකට ගත නොහැකි බව නොදැන සිටියා කියා සිතිය නොහැක. මෙහි සිටින එක් කාන්තාවක් බෙදාහැරීම් නියෝජිතවරියකි. එනම් ව්‍යාපාරික කාන්තාවකි. ඇය බැංකු සමග ගනුදෙනු කරන්නියකි. බැංකු සමග ගනුදෙනු කරන්නියක් මෙවැනි මුදලක් එකවර ගිණුමකට ගත නොහැකි බව දන්නේ නැතිද යන ගැටලුව මතුවේ.
තරුණයාගේ ගිණුම හරහා මෙරට දේශපාලන ප්‍රබලයෙකුගේ අවශ්‍යතාවය මත මුදල් ආවාදෝ යන සැකය මතු වන්නේ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා එකින් එක බලද්දීය. ලංකාවේ ආර්ථිකය දැන් පවතින්නේ සෘණාත්මක තැනකය. ඩොලර් හිඟයකට ද මහ බැංකුව මුහුණ දී සිටියි. මෙවැනි මුදලක් තුන්වන පාර්ශවයක් වෙත එවීම තුළ එම මුදල් රාජසන්තක වන බව මේ පිරිස නොදන්නවා නොවේ. රාජසන්තක වන මුදල යන්නේ මහ බැංකුවේ ගිණුමටය. මහබැංකු ගිණුම රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යද්දී එය රුපියල ශක්තිමත් වීමට හේතුවක් වේ. ඩොලරයේ අගය පහත බසියි.

එබැවින් දේශපාලඥයෙකු විසින් තමන් පිටරට තැන්පත් කර තිබෙන කළු සල්ලිවලින් ට්‍රිලියනයක් එව්වාය යන සැකය මතුවීම වැලැක්විය නොහැක. මෙරට ආර්ථිකය ස්ථාවර කරගනිමින් ජනතා බර හෑල්ලු කර සිය පාලනය ශක්තිමත් කරගැනීමට මෙවැනි දෙයක් කළා විය හැකිය.

පොලිසිය බැංකු ගිණුම පිළිබඳ වාර්තා ඉල්ලා තිබෙන වකවානුවකදී මේ සිද්ධිය පිළිබඳ ඉදිරි පරික්ෂණ වව්නියාව පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත. මහ බැංකු විමර්ශන අංශය ද විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ තරුණයා මේ වන විට අතුරුදන්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. තරුණයා එම ප්‍රදේශයේ නැති බව පොලිසිය කළ සොදිසියේදි හෙළිව ඇත. බැංකු වාර්තාව ලද පසු පොලිසිය එය අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. එවිට සැබෑ මුදල් තත්ත්වය ගැනද හෙළිදරව් වනු ඇත.

මෙය ආණ්ඩුව විසින් මෙතෙක් කල් මාධ්‍ය මගින් එළි දැක්වූ තවත් නාට්‍යක ජවනිකාවක ප්‍රධාන නලුවාට තිර පිටපත ලබා නොදීම නිසා ඇතිවූ අලකලංචියක් ද විය හැකිය. කෙසේ නමුත් සියල්ල මෙසේ තිබියදී මෙම කාරණය යටපත් වී ආර්ථික ශක්තියක් රට තුළ ඇතිවූවේ වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික පිළිවෙත නිසාවෙන් යැයි මාධ්‍ය මගින් වාර්තා විය හැකිය. එසේම මෙවැනි මුදලක් ලැබී නැතැයි කියා කියුවද පුදුම විය යුතු නැත. මන්ද එවැනි ඉතිහාසයක් පවතින ආණ්ඩුවේ පාලකයන්ට ඇති බැවිනි.

-ලසන්ත වීරකුලසූරිය

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator