පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකඟ වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙසේ එකඟතාවකට පැමිණ ඇත.
“සභා ගණනාවක් මහජන නියෝජිතයින් නැතිව කටයුතු කරන නිසා ජනාධිපතිතුමා කිව්වා රටේ විශාල මතවාදයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා ඒ කාරණාව සම්බන්ධයෙන්. විශෙෂයෙන්ම ජාත්‍යන්තරයෙත්, ඡන්දෙ නොතියනවා කියන කාරණාව ජිනීවා වලත් කතාවෙන තත්වයට පත්වෙලා තියෙනවා. ඒක නිසා ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීන්දුවක් ගත්තා පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න කියන කාරණාව.
ක්රමයන් දෙකටම. සමානුපාතික ක්රමයටත් අලුත් ක්රමයටත් කියන දෙකටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්න කියලා රොෂාන් රණසිංහ ගරු ඇමතිතුමාට නියම කළා. ඒක නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න ඕනෙ කියන ස්ථාවරය තමයි පොදුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ගත්තේ” යනුවෙනුයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ.
වීරසුමන වීරසිංහ මහතා ද ආණ්ඩුව තුළ විමල් වීරවංශ මහතාගේ කුඩා පක්ෂ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන අතර එම සන්ධානයෙහි පක්ෂ මුල සිටම පෙනී සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිවය. ඔවුන් ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් පළාත් සභා ගැන සලකා බැලිය හැකි බවකි. පළාත් සභා අහෝසි කරදැමිය යුතු බවට ද ඔවුන්ගෙන් කොටසකගේ මතය වී තිබිණි.
කෙසේවෙතත් ඔවුන් සියලු දෙනාම තම විරෝධතා හකුළාගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟ වී ඇති බව පෙනේ.
ආණ්ඩුවේ සුළු පක්ෂ පළාත් සභා ක්‍රමයට එකඟ නොවන්නේ නම් තමන් සමග මැතිවරණයට තරග නොකර සිටින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි.