Info Sri Lanka

මාර වැඩේ එජාපයට වුණේ!

ඡන්ද සටන ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. අලි, ෆෝන්, පොහොට්ටු, මාලිමා ප්‍රධාන සටන්කරුවන් ය. රාජපක්ෂ කණ්ඩායම කියන්නේ, තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බලය දෙන්න කියා ය. ඒ කියන්නේ, එහෙම බලයක් දැනට නැති බව ය. ඉල්ලන්නේ එහෙම බලයක් ය. කලින් කිව්වේ, තුනෙන් දෙකේ බලයක් ගන්නවා කියා ය. දැන් ඒ කතාව කියන්නේ නැත. දැන් කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න බලයක් දෙන්න කියා ය. ගෙවිච්ච මාස අටට පල්ලම් බැහැපු තරම ඒක ය. කොහො ම වුණත්, අපේ රටේ ජනතාව කිසිදු පක්ෂයකට ඡන්දයෙන් තුනෙන් දෙකේ බලයක් දෙන්නේ නැත. ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත් නිසා ය. තුනෙන් දෙක කෙසේ වෙතත්, එකසිය දහතුනක බලයක් හදා ගැනීමත් දැන් විශ්වාස නැත. එයත් අමාරු වැඩකි. පහුගිය රනිල් – මෛත්‍රී හවුල ගත්තේ ද එකසිය හයකි. 1977න් පසුව කිසිදු පක්ෂයක් ඡන්දයෙන් එවැනි අසීමිත බලයක් ගත්තේ නැත. ගන්නටත් බැරි ය. අද රාජපක්ෂ කණ්ඩායම උපරිම උත්සාහ දරන්නේ එකසිය දහතුන යාන්තමින් හදා ගන්නට ය. එහෙත්, දවසින් දවස ඇති වෙන දේවල් එක්ක එයත් අසීරු කටයුත්තකි.

එජාපය ඇතුළු අනෙක් කණ්ඩායමට කොහොමත් වැඩි බලයක් නැත. ඒ පහුගිය ආණ්ඩු කාලයේ කරපු වැරදි නිසා ය. එදා රනිල් – මෛත්‍රී හවුලට තිබුණේ, එකසිය හයක බලයකි. නමුත්, ජාතික ආණ්ඩු ප්‍රෝඩාවක් අටවා ගත්තේ ය. එය අටවාගෙන යූඑන්පී – ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් හැදුවේ ය. අද ඔය කයිවාරු ගහන නිමල් සිරිපාලලා, සුසිල් ප්‍රේමජයන්තලා ඔක්කො ම හිටියේ ඒ ආණ්ඩුවේ ය. හරියට ම ගත්තොත්, ඇමති ධුර තිස්හයක් ම දැරුවෝ ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිවරු ය. වරාය චීනයට විකුණන කොට විෂයභාර ඇමතිවරයා වූයේ මහින්ද සමරසිංහ ය. ඔහු ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු ය. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයකු ද විය. එදා රනිල් – මෛත්‍රී ආණ්ඩුව කියන්නේ, දෙගොල්ලන්ගේ හවුලක් ය. ජාතික ආණ්ඩු ප්‍රෝඩාව හරහා ආසන එකසිය හැටදෙකක තුනෙන් දෙකක බලයක් ඒ ආණ්ඩුවට තිබුණේ ය.

එකී බලය පාවිච්චි කරලා එක හොරකමක්වත් ඇල්ලුවේ නැත. එක හොරකුටවත් දඬුවම් දුන්නේ ද නැත. හොරකම් නතර කළේ ද නැත. මහ බැංකුව කොල්ලකෑවේ ද එවැනි බලයක් තිබිය දී ම ය. රටේ ආර්ථිකය හැදුවේ ද නැත. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළේ ද නැත. ඇත්තට ම කළේ හොරුන් ආරක්ෂා කිරීමය; හොරුන් එක්ක ඩීල් දැමීම ය; රාජපක්ෂාලාගේ කම්බ හොරුන් රැක දීම ය. අන්තිමට මෛත්‍රීපාල ද කරණම් ගැහුවේ ය. කිසි ලැජ්ජාවක්, හිරිකිතයක් නැතිව ඒ මෛත්‍රී ගෝඨාභය එක්ක පොළොන්නරුවේ ජනතාව ළඟට ද යන්නේ ය. පිඟානට බෙදා ගත්ත කෑම ටික හරියට කා ගන්න බැරිවෙච්ච යූඑන්පී නායකයෝ අද දෙපැත්තට බෙදිලා ආඩපාලි කියා ගන්නෝ ය. සජිත් පිලේ අය කියන්නේ, රනිල්ලා, රවීලා රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මා කියා ය. මහ බැංකුව කොල්ලකාපු හොරු ඉන්නේ ඒ පැත්තේ කියා ය. සාටක හොරු, ටයි-කෝට් හොරු ඔක්කොම අද එකට එකතු වෙලා කියා ය. රනිල්ලා කියන්නේ වෙනත් කතාවක් ය. ආණ්ඩුව ඇතුළේ ඉඳන් ම කකුලෙන් ඇද්දේ සජිත්ලාගේ කණ්ඩායම කියා ය. අන්තවාදීන් හුරතල් කළේ ඒ කණ්ඩායම කියා ය. දැන් ඡන්දෙදී දෙගොල්ලෝ දෙපැත්තට වෙලා බැණ ගන්නෝ ය. එදා එකට ඉඳන් කරපු වැරදි දෙපැත්තෙන් ම එළියට එන්නේ ය. දෙපැත්තෙ ම කට්ටිය කරන්නේ දෙගොල්ලන්ට බැණ ගැනීම ය. දෙගොල්ලො ම කරන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම ය.

මේ දවස්වල සජිත්ගේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වංචාව ගැන වැඩිය හොයන්නේ නැත. ඒ පරීක්ෂණ යට ගිය බවක් පෙනෙන්නට ඇත. ඒවා ඉබේ නිකම් ම වෙන්නේ නැත. සජිත් කවදාකවත් ගෝඨාභයගේ නම කියලා විවේචනය කරන්නේ නැත. ජනාධිපතිවරණ කාලයේත් එහෙම ය. අදත් එහෙම ය. දෙන්නා අතරේ යටින් එකඟතාවක් ඇති බව දන්නෝ දනිති. සජිත් පහුගිය දවස්වල කිව්වේ, ගෝඨාභය එක්ක වැඩ කරන්න තමන් කැමැති බවත්, තමන්ට පුළුවන් බවත් ය. මේවා ජුගුප්සාජනක සිදුවීම් ය. මෛත්‍රී – ගෝඨා එකතු වෙච්ච දිහා බලපුවා ම එහෙම නොවේ යැයි හිතා ගන්නත් අමාරු ය. කොහොම වුණත්. ඡන්දෙන් පස්සේ ඔය අලි – ෆෝන් දෙපැත්තෙන් ම කට්ටිය රාජපක්ෂලා ළඟට ගන්න එක නම් ස්ථිර ය. එදා 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වුණේ ද යූඑන්පීයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් එහා පැත්තට පැනපු නිසා ය. ආනන්ද අලුත්ගමගේ, එස්. බී. නාවින්න, වසන්ත සේනානායක, අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ද යූඑන්පී ඡන්දවලින් පාර්ලිමේන්තු ආපු අය ය. පක්ෂයටත් ද්‍රෝහි වෙලා, පාක්ෂිකයන්ටත් ද්‍රෝහි වෙලා ඔවුහු එහා පැත්තට පැන්නෝ ය.

මෛත්‍රීපාල භය නැතිව කිව්වේ, එකසිය දහතුන නොවෙයි, එකසිය විසිදෙකක් තමන්ට හදා ගන්න පුළුවන් කියා ය. මහින්දට අගමැතිකම ගන්න එන්න කිව්වේ, ඒ විශ්වාසයෙන් ය. ජවිපෙ හා අනෙක් ප්‍රගතිශීලී බලවේග එකතු වෙලා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහි දැඩි අරගලයක් කළහ. ඒ සටනේ ප්‍රතිඵලයක් ලෙස තවත් පනින්න හිටපු කණ්ඩායමක් නතර වුණේ ය. නැත් නම්. කුමන්ත්‍රණය සාර්ථක වන්නේ ය. ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය මුළුමනින් ම වැරැදි බව ශ්‍රේෂ්ඨාධිකරණය ද  තීන්දු කළේ ය. එදා ඒ කුමන්ත්‍රණයට එරෙහිව දැඩිව හා සෘජුව පෙනී සිටියේ ජවිපෙ පමණක් ම ය. මිරිස් කුඩු ප්‍රහාරයන්ට ලක් වුණේ ද ජවිපෙ මන්ත්‍රීවරු ය. එදත්, අදත් රාජපක්ෂලාගේ දූෂකයන් ආරක්ෂා කළේ යූඑන්පීයෙන් පැනපු මන්ත්‍රීවරුන් ය. අදත් විජේදාස රාජපක්ෂ කරන්නේ ඒක ය. එදා රනිල්ගේ හොඳ ම ගෝලයා ලෙස හිටපු ඔහු අද මුළුමනින් ම රනිල්ට විරුද්ධව ද්‍රෝහියකු ලෙස හැසිරෙන්නේ ය.

මේ ඡන්දයෙන් පස්සේ සිද්ධ වෙන්නෙත් ඔය ටික ම ය. යූඑන්පී පාක්ෂිකයාගේ ඡන්ද ටික අරගෙන කොහො ම හරි මන්ත්‍රීකමක් ගන්නේ ය. අන්තිමට ඇමති කට්ටකට අනිවාර්යයෙන් ම එහා පැත්තට පනින්නේ ය. ඒකට මොනවා හරි හේතුත් කියන්නේ ය. යූඑන්පීය දෙකට කැඩිලා ය. කැඩිච්ච කෑලිවලත් පතුරු ගැලවි ගැලවී යන්නේ ය. මංගල ඉවත් වුණේ ය. රෝහිත බෝගොල්ලාගමත් ඉවත් වුණේ ය. හෙට අනිද්දා තව තව දේවල් වන්නේ ය. මෑත කාලයේ දි යූඑන්පීයට වැඩියෙන් ම හානි කළේ පක්ෂය ඇතුළේ ම ඉන්න නායකයන් ය. තුනෙන් දෙකේ ආණ්ඩු බලයක් තියාගෙනත් මොකක්වත් කර ගන්න බැරි වුණේ ය. එහෙව් පක්ෂයක් දෙකට කැඩුණාට පස්සේ ඊටත් වඩා දුර්වල ය. ඒ වෙලාවේ කරන්න බැරි වෙච්ච දේවල් දැන් කොහොමටවත් කර ගන්න බැරි ය. ඊටත් වඩා දැන් දුර්වල වෙලා ය. ඡන්දෙන් පස්සේ රාජපක්ෂ පවුල් පාලනයත් එක්ක ඔය රනිල්ලාට, සජිත්ලාට කොහොමටවත් හැප්පෙන්නට බැරි ය. එය දැනටමත් පැහැදිලි ය. එහෙව් දුර්වල කණ්ඩායමක් පස්සේ යන්න පාක්ෂිකයෝ දැන් සූදානම් නැත. පාක්ෂිකයන්ට මේ දෙගොල්ලෝ ම එපා වී අවසන් ය. පාක්ෂිකයන්ට ඕනෑ වෙලා ඇත්තේ, රාජපක්ෂ පවුල් පාලනයත් එක්ක කෙළින් හැප්පෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් ය.

එය කළ හැකි ශක්තිමත් බලයක් ගොඩනැඟීම ආරම්භ කළ යුතු ය. ඒ වගකීම ඇත්තේ ද ජනතාවට ය. අසීමිත බලයක් කොයි කාටවත් දිය යුතු නැත. ජනතාවට ජයග්‍රහණ ලැබෙන්නේ ආණ්ඩුවක් ඕනෑවට වඩා බලයක් ගත්ත විට නොවේ ය. හරිහමන් බලයක් නැති විට දී ය. ඉතිහාසයේ හැමදාම ජනතාව යමක් දිනා ගත්තේ එවැනි අවස්ථාවල දී ය. එසේ නම්, අද කළ යුත්තේ ද එයයි. දූෂිත ඒකාධිපති පාලකයන්ට එරෙහිව භය නැතිව හැප්පෙන්න පුළුවන් කණ්ඩායම වැඩි කිරීම ය; එය ශක්තිමත් කිරීම ය. ජනතා විශ්වාසය ඇත්තේ එතන ය. ගොඩනැඟිය යුත්තේ ද එවන් බලයක් ය. දූෂිත පාලනයට එරෙහි වන්නේ ශක්තිමත් බලයක් මිස දුර්වල, කැඩිච්ච පක්ෂයක් නොවේ ය.

ජගදාක්ෂි | ලංකා

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.