Saturday, April 4, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

දිල්කා සමන්මලීගෙන් සුදත්ත තිලකසිරිට රුපියල් මිලියන 100ක එන්තරවාසියක්

ප්‍රවීණ මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී මහත්මිය ඉලක්ක කරගනිමින් ‘Talk with Sudantha’ යූටියුබ් නාලිකාව හරහා සුදත්ත තිලකසිරි යන අය සිදුකළ අතිශය අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශයන්ට එරෙහිව රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා අද දින (අප්‍රේල් 03) එන්තරවාසියක් යොමු කර තිබේ.

ඇයගේ නීතිඥ මණ්ඩලය පෙන්වා දෙන්නේ වසර 19කට අධික කාලයක් මෙරට ජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ සම්මානනීය මාධ්‍යවේදිනියක වන දිල්කා සමන්මලී මහත්මියගේ පෞද්ගලික ජීවිතයට සහ කීර්තිනාමයට බරපතල හානි වන පරිදි අදාළ පුද්ගලයා ඉතා පහත් වචන භාවිතා කරමින් මෙම ප්‍රකාශයන් සිදුකර ඇති බවයි.

විශේෂයෙන්ම ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයාගේ නම් සඳහන් කරමින්, ඇයගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් පරිශ්‍රය පදනම් කරගනිමින් සිදුකළ ලිංගික ස්වරූපයේ අපහාසාත්මක ප්‍රකාශ, හිතාමතාම ඇයව වෘත්තීයමය සහ පෞද්ගලික වශයෙන් අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් කළ ඒවා බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එය මාර්ගගත ක්‍රමවේදයන් පිළිබඳ සුරක්ෂිත පනත (Online Safety Act) යටතේ විමර්ශනය වෙමින් පවතී.

මීට අමතරව සිවිල් නීතිය යටතේ ගොනුකළ මෙම එන්තරවාසිය මගින් නියමිත කාලය තුළ අදාළ මිලියන 100ක වන්දි මුදල ගෙවීමට විත්තිකාර පාර්ශවය අපොහොසත් වන්නේ නම්, රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරීමට ද කටයුතු සූදානම් කර ඇත.

ඔපෙරා හවුස් පරිශ්‍රය සම්බන්ධ කරගනිමින් සිදුකළ අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය පිළිබඳව ඕස්ට්‍රේලියානු පොලිසියට ද පැමිණිලි කිරීමට දිල්කා සමන්මලී මහත්මියගේ පියා මේ වන විට කටයුතු කරමින් සිටියි.

ඕනෑම රටක නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක වන බැවින්, වින්දිත පාර්ශවයට සිදුවූ අගතිය වෙනුවෙන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇයගේ නීතිඥ මණ්ඩලය අවධාරණය කරයි.

Popular Articles