Saturday, April 4, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සාමය සඳහා ගෝලීය පා ගමන ශ්‍රී ලංකාවේ පැවැත්වේ

ජාත්‍යන්තරව පිළිගත් “Walk for Peace” නම් සාමය සඳහා වූ පා ගමන 2026 අප්‍රේල් 21 වන දින සිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් භික්ෂූන් වහන්සේ දොළොස් දෙනෙකු සමඟ ක්‍රියාත්මක වේ.

දින හතක් පුරා දිවයින පුරා පැවැත්වෙන මෙම ගමන, බුද්ධ වචනයක් වන “බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය” යන සංකල්පය මත පදනම්ව සැලසුම් කර ඇත.

මෙම වැඩසටහනේ මූලික අරමුණ සමාජය තුළ සාමය හා මෛත්‍රීය වර්ධනය කිරීමයි.

සාමය බලයෙන් නොව, සචේතනභාවය (mindfulness) සහ සෙමින් සිදුකරන පුහුණුව තුළින් ගොඩනැගිය යුතු බව මෙය හරහා ප්‍රදර්ශනය කෙරේ.

මෙම පා ගමනේ ආරම්භක උත්සවය අනුරාධපුරයේ පැවැත්වෙන අතර, ජය ශ්‍රී මහා බෝධියේ පූජිත පැළයක් පිළිගැනීම සහ රුවන්වැලිසෑයේ ආගමික කටයුතු එහිදී සිදු කෙරේ.

ඉන් අනතුරුව දඹුල්ල රජමහා විහාරයෙන් පා ගමන ආරම්භ වී මහනුවර දක්වා ගමන් කරයි.

මහනුවරට පැමිණි පසු මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමත්, ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමත් සිදු කෙරේ.

මෙම ගමන අතරතුර ජය ශ්‍රී මහා බෝධියේ පැළය සමඟින් විවිධ පූජනීය ස්ථානවලින් ගෙන එන ධාතු ද රැගෙන යනු ඇත.

මෙම පා ගමන අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවසන් වන අතර, එදින විශේෂ රාජ්‍ය උත්සවයක්ද පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ගංගාරාම විහාරයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික උරුමයන් දැක්වෙන විශේෂ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනේ අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආධ්‍යාත්මික උරුමය ජාත්‍යන්තරයට හඳුන්වාදීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමයි.

Popular Articles