spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අමිහිරි යථාර්ථය බාරගන්න සූදානම් වෙමු..

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘ද ප්‍රෙස්ටිජ්’ (The Prestige) චිත්‍රපටය ඔබ බලලා තියෙනවාද? ඒකේ මුල් හරියේ අපූරු මැජික් දර්ශනයක් තියෙනවා.
මැජික්කාරයා මේසයක් උඩ තියපු කුරුළු කූඩුවක් එකපාරටම තලලා දානවා. ඒ එක්කම ඒක ඇතුළේ හිටපු පුංචි කුරුල්ලා අතුරුදහන් වෙනවා. මේක බලන් හිටපු පුංචි පිරිමි ළමයෙක්, කුරුල්ලා මැරුණා කියලා හිතලා අඬන්න පටන් ගන්නවා. මැජික්කාරයා වහාම ළමයා ළඟට ගිහින්, තමන්ගේ අතින් පණ තියෙන කුරුල්ලෙක්ව මතු කරලා පෙන්වලා මැජික් එක ඉවර කරනවා. හැබැයි අර පුංචි ළමයා ඒක පිළිගන්නේ නැහැ.අහිංසක ළමයා කියන්නේ, “මේ ඉන්නේ කලින් කුරුල්ලා නෙමෙයි, උගේ සහෝදරයා! කලින් එකා මැරුණා!” කියලා…


ෂෝ එක ඉවර වුණාට පස්සේ අපිට පේනවා මැජික්කාරයා තනියම ඉන්න වෙලාවක, මැරුණු කුරුල්ලෝ ගොඩක් දාලා තියෙන කුණු කූඩෙකට අර තැලුණු කුරුල්ලව විසි කරනවා. ඒ කියන්නේ අර පුංචි ළමයා කියපු දේ හරි! කාටවත් හිංසාවක්, මරණයක් කරන්නේ නැතුව ඒ මැජික් එක කරන්න බැහැ. හැබැයි මැජික් එක සාර්ථක වෙන්නේ, ඒ වෙනුවෙන් බිලිදීපු, විනාශ කරපු දේවල් කාටවත් පේන්නේ නැති වෙන්න කුණු බාල්දියට දාලා හංගන නිසයි.


ලෝකයේ ‘ප්‍රගතිය’ හෙවත් දියුණුව කියන සංකල්පයේ මූලික පදනමත් ඕකයි. අපි අලුත්, උසස් මට්ටමකට යන හැම වෙලාවකම, කොහේ හරි තැනක තැලී පොඩි වුණු කුරුල්ලෙක්—ඒ කියන්නේ ලොකු පරිත්‍යාගයක් හෝ විනාශයක්—තියෙන්නම ඕනේ!


මිනිස් සංහතිය එක දිගට කෙළින්ම දියුණුව කරා යනවා කියන අදහස අපි මුලින්ම අයින් කරන්න ඕනේ. ඒක කාල් මාක්ස් කියපු එකක් වුණත්, ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි ලිබරල්වාදීන් කියපු එකක් වුණත් අද වෙනකොට ඒ හැම එකකම තිත්ත ඇත්ත ලෝකය ඉස්සරහා නිරුවත් වෙලා තියෙනවා. ඉතිහාසය ගැන මාක්ස්ගේ අදහස වුණේ, මිනිස් සමාජය ප්‍රාථමික යුගයේ ඉඳන් ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වෙලා අවසානයේ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය කරා කෙළින්ම යනවා කියන එකයි. හැබැයි ඔහු තමන්ගේ යුරෝප කේන්ද්‍රීය තර්කයට ගැලපෙන්නේ නැති හැම දෙයක්ම ‘ආසියාතික නිෂ්පාදන මාදිලිය ’ කියන හිස් ලේබලය අස්සේ හැංගුවා. ඒක හරියට තැලුණු මළ කුරුල්ලෝ දාන බාල්දියක් වගේ. සමාජවාදය සම්බන්ධයෙන් ගත් කල, රෝසා ලක්සම්බර්ග්ගේ ‘අනාගතය සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය වනු ඇත’ යන ප්‍රකාශයද වැරදි බව ඔප්පු විය. මන්ද යත්,අනිත් පැත්තෙන් ස්ටාලින්ගේ පාලනය (ස්ටැලින්වාදය) හරහා ලෝකයට ලැබුණේ ‘සමාජවාදී ම්ලේච්ඡත්වයක්’. ඒකෙන් මැරුණු මිනිස්සුන්ගේ ප්‍රමාණය අදටත් ගණන් කරලා ඉවර නැහැ.


අනෙක් පැත්තෙන් ලිබරල්වාදයත් අද වෙනකොට ලොකු අර්බුදයක තියෙන්නේ. ඒ නිසාම ෆුකුයාමා පවා ‘ඉතිහාසයේ අවසානය’ (End of History) ගැන තමන් කලින් කියපු සුන්දර කතාව දැන් අත්හැරලා දාලා තියෙනවා.
අද රුසියාව සහ චීනය වැනි රටවල් ලෝකයට පෙන්වන්න උත්සාහ කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලපෑම්වලින් තොර, හැම රටකටම සම අයිතිවාසිකම් ලැබෙන අලුත් ලෝක ක්‍රමයක් ගැනයි. හැබැයි ඔවුන්ගේ මේ ලස්සන කතාවලින් ඇත්තටම වෙන්නේ, බටහිර බලපෑම් අයින් කරන මුවාවෙන් මුළු කුරුළු කූඩු පිටින්ම තලලා විනාශ කරලා දාන එකයි! ආර්ථික සහ දේශපාලන නිදහස විතරක් නෙමෙයි, කාන්තා අයිතිවාසිකම්, සමලිංගික අයිතිවාසිකම් සහ පොදුවේ මිනිස් නිදහස පවා මේ පාලනයන් යටතේ සම්පූර්ණයෙන්ම පොඩි කරලා වඳ කරලා දානවා.
මේකට ළඟදීම සිද්ධ වුණු හොඳම උදාහරණයක් තමයි උගන්ඩාව. එහේ පාර්ලිමේන්තුවේ කථානායකවරිය වන අනීටා අමොන්ග් සමලිංගිකත්වයට විරුද්ධව මරණ දඬුවම පවා ඉල්ලන දැඩි නීති ගේන ගමන් කෙළින්ම කිව්වේ, “ඔයාලා එක්කෝ ඉන්න ඕනේ අපේ පැත්තේ, නැත්නම් බටහිර ලෝකය පැත්තේ” කියලයි.


අද කාන්තා, සමලිංගික සහ සංක්‍රන්ති ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගල හංවඩු ගහන්නේ අප්‍රිකානු අනන්‍යතාවය විනාශ කරන්න බටහිර රටවල් පාවිච්චි කරන මතවාදී ආයුධ විදිහටයි. මේ පටු දේශපාලන අර්ථකථන නිසා බිලිවෙන්නේ තවත් එක අහිංසක “කුරුල්ලෙක්”, එහෙමත් නැත්නම් මනුෂ්‍ය ජීවිත සමූහයක් විතරයි.
අද තිත්ත ඇත්ත තමයි, “නිදහස ලැබීම” හෝ “යටත්විජිතවාදයෙන් මිදීම” කියන ලස්සන පොරොන්දුව, වෙනත් නරක දේශපාලන සහ දූෂිත ක්‍රියාවලීන් වහන්න පාවිච්චි කරන වෙස්මුහුණක් කරගෙන තිබීම.
ඇන්ගෝලාවේ ඉඳන් සිම්බාබ්වේ වෙනකම් බොහෝ අප්‍රිකානු රටවල පාලක “ස්වාමිවරුන්” සහ දුප්පත් බහුතර ජනතාව අතර තියෙන ධනය, බලය, වරප්‍රසාද සහ නිදහස අතින් තියෙන පරතරය—යටත්විජිත සමයටත් වඩා වැඩියි! ‘විජිතවාදයෙන් මිදීම’ කියන වචනය ඇත්තටම පාවිච්චි වෙන්නේ, සමාජයේ අලුත් පන්ති ක්‍රමයක් සහ පීඩනයක් ඇතිවීම වහන්නයි.


මාඕ සේතුං වරක් කිව්වා, “විප්ලවය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙමෙයි” කියලා. හැබැයි විප්ලවයෙන් පස්සේ උදාවෙන ඇත්තම තත්ත්වය, ඊටත් වඩා අන්ත සහ අමිහිරි එකක් වුණොත් මොකද කරන්නේ?
මේකෙන් අදහස් කරන්නේ අපි දියුණුව හෝ ප්‍රගතිය කියන දේ අත්හරින්න ඕනේ කියන එක නෙමෙයි. අපි කරන්න ඕනේ දියුණුව කියන දේට අලුත් අර්ථකථනයක් දෙන එකයි.


ඒකට කරන්න ඕන පළමු පියවර තමයි, අපිට දකින්න අකමැති, පිළිකුල් සහගත, බිඳුණු, ලැජ්ජා සහගත සහ පිළියමක් නැහැ වගේ පේන අමිහිරි සැබෑවන් වුණත් කෙළින්ම පිළිගැනීමට සූදානම් වීමයි.
ධනවාදී දූෂණයන් සහ ඒකාධිපති බලය වහන්න පාලකයෝ අපිට පෙන්වන අර “බොරු ජීවමාන කුරුල්ලාට” (මැජික් එකට) අපි අත්පුඩි ගසන එක නතර කළ යුතුයි. ඒ වගේම, පෙට්ටි අස්සේ සහ කුණු කූඩවල හංගලා තියෙන “තැලී පොඩි වුණු කුරුල්ලන්ගේ” (මිනිස්සුන්ගේ සහ මානව අයිතිවාසිකම්වල) විනාශය ගැන අපි මීට වඩා සබුද්ධිකව ප්‍රශ්න කළ යුතුමයි!

Popular Articles