සිනමා සක්විතිගේ නාමයට මඩ ගසන වෛරයේ අවසානය කුමක්ද?
සිංහල සිනමාවේ ගාමිණී කියූ සැණින් බොහෝ දෙනෙකුට මතක් වන්නේ මාලනී ෆොන්සේකාව වුවද, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ කලා ජීවිතය හා බැඳුණු තවත් ප්‍රබල මාලනී කෙනෙකු සිටියි. ඒ හෙළයේ යශෝරාවය වන නන්දා මාලනියයි. ගාමිණී රචනා කළ, අධ්‍යක්ෂණය කළ ‘සරුංගලේ’ චිත්‍රපටයේ අමරදේවයන් සමඟ නන්දා ගැයූ “බඹරිඳු බඹරිඳු” ගීතයට මෙන්ම, එකදු ගීතයක් හෝ නැති ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ පසුබිම් සංගීතයට ඇගේ හඬ මෙවලමක් ලෙස යොදාගැනීමට තරම් ගාමිණී තුළ නිවැරදි කලාත්මක දැක්මක් තිබුණි.
දේශපාලනිකව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු වුවද, ගාමිණී ෆොන්සේකා සිනමාව තුළ කිසිවිටෙකත් පාට පක්ෂ බේද සැලකුවේ නැත. වාමාංශික කලාකරුවන් රැසකට අතදුන් ඔහු මෙන්ම, ඔහුගේ පුත් දමිත් ෆොන්සේකා ද සිනමා ක්ෂේත්රයේ සැමට පක්ෂ බේදයකින් තොරව උදව් උපකාර කළ මිතුරෙකු මිස දේශපාලන බලපෑම් මත කටයුතු කළ අයෙකු නොවේ.

එහෙත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අද වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ව්‍යාපාර විසින් දමිත් ෆොන්සේකාගේ නම අමුතුම ආකාරයකින් ඉලක්ක කරගෙන ඇත. දඹුල්ලේ පිහිටි තමන්ගේම සින්නක්කර ඉඩමක, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියකට අනුව ග්‍රීන් හවුස් එකක් සෑදීමට අඩි 6ක ළිඳක් කැපීමත්, රිලවුන්ගෙන් වගාව බේරාගැනීමට මයිල ගසක අතු කැපීමත්, සමාජ මාධ්‍ය හරහා “අනවසර නිධන් හෑරීමක්” සහ “විල්පත්තුව වැනි කැලෑ කැපීමක්” ලෙස හමුද්රණය කරමින් මඩ ප්‍රහාර එල්ල කරන්නේ මියගිය ගාමිණී ෆොන්සේකාවද ඊට ඈඳාගනිමිනි.
නන්දා මාලනීගේ වියෝව වෙනුවෙන් වැලපෙන අතරම, සිනමා සක්විති ගාමිණීට මෙසේ වෛරී ප්‍රහාර එල්ල කරන පිරිස් රසවිඳි කලාව කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. නන්දා ගැයූ, ගාමිණී ලියූ “ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ – මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ” යන පද පෙළ සිහිපත් කරමින් අසන්නට ඇත්තේ එකම පැනයකි; කලාකරුවන්ට පවා මඩ ගසමින් වපුරන මේ වෛරී දේශපාලනයේ කෙළවර කුමක්ද?




