spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ජේ.ආර් ආ මග සජිත් පසුකරාවිද..?

77 ජේ. ආර්. විප්ලවය සහ සජිත්ගේ පුනරාගමනය

1970 සිට 1977 දක්වා කාලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හා අර්බුදකාරී යුගයක් විය. රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබුණි. “පෙරදිග ධාන්‍යාගාරය” ලෙස විරුදාවලිය ලැබූ රටක ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පෝලිම්වල රැඳී සිටින තත්ත්වයකට පත්විය. තරුණ පරපුරේ බලාපොරොත්තු බිඳවැටෙමින් තිබුණි.

එම පසුබිම තුළ 1970 මහ මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් ඉතා දුර්වල තත්ත්වයකට පත්ව සිටියේය. එහෙත් එම පරාජය අවසානයක් කර නොගෙන, අනාගත ජයග්‍රහණයක ආරම්භයක් බවට පත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන සමත් විය.

ඔහු පක්ෂය ප්‍රතිසංවිධානය කළේය. ශක්තිමත් ශාඛා සංවිධාන ගොඩනැගීය. තරුණ හා කාන්තා සංවිධාන ශක්තිමත් කළේය. පාක්ෂිකයා සහ පක්ෂය අතර තිබූ සම්බන්ධතාවය නැවත ගොඩනැගීය. පරාජිත පක්ෂයකට නැවත ජීවයක් ලබා දී, එය ජයග්‍රහණය සඳහා සූදානම් කළේය.

1975 වන විට එවක පැවති සමගි පෙරමුණු ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ක්‍රමයෙන් පිරිහෙමින් තිබුණි. ආර්ථික අර්බුදය, ජනතාවගේ දෛනික ජීවිතයේ දුෂ්කරතා සහ දේශපාලන අසතුට හඳුනාගත් ජේ. ආර්. ජයවර්ධන එම ජනතා අසතුට දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කිරීමට සමත් විය.

එහි ප්‍රතිඵලය වූයේ 1977 මහ මැතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකර ගත්තේය. 1970 පරාජයෙන් ඇදවැටුණු පක්ෂයක්, වසර හතක් ඇතුළත රටේ බලවත්ම දේශපාලන බලවේගය බවට පත්ව තිබුණි.

ඉතිහාසය එකම ආකාරයෙන් නැවත සිදු නොවුවද, එහි පාඩම් නැවත නැවත අප ඉදිරියේ මතු වේ.

අද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ද එවැනිම දේශපාලනික සංක්‍රාන්ති සමයකට මුහුණ දෙමින් සිටී. තරුණම සහ ප්‍රබලම විපක්ෂ බලවේගය වුවද, පක්ෂය පිට පිට මැතිවරණ පරාජයන්ට මුහුණ දී ඇත. ඇතැම් අවස්ථාවල පාක්ෂිකයාගේ විශ්වාසය පවා පරීක්ෂාවට ලක් වී ඇත.

එහෙත් පරාජය අවසානයක් නොවන බව සජිත් ප්‍රේමදාස නැවතත් ඔප්පු කරමින් සිටී.

අද පක්ෂය තුළ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් ආරම්භ වී ඇත. තරුණයන් වැඩි වැඩියෙන් පක්ෂය වටා එක්රොක් වෙමින් සිටිති. “මම” හෝ “මා පමණක්” යන දේශපාලන සංස්කෘතිය වෙනුවට “අපි” යන සංකල්පය කරළියට පැමිණෙමින් තිබේ.

තරුණයන්ට අවකාශය ලබා දීම, නව අදහස්වලට ඉඩ ලබා දීම, විකල්ප මතවාද දරන්නන්ට දොරටු විවර කිරීම සහ නිදහස් චින්තනයට ගරු කිරීම—මේ සියල්ල නව දේශපාලන සංස්කෘතියක ආරම්භක ලක්ෂණයන්ය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවතක ගමන් කරමින්, සෑම කෙනෙකුටම එක හා සමාන අවස්ථා හිමි වන, නිදහස් චින්තනයට ඉඩ සලසන නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ උත්සාහය අද ආරම්භ වී ඇත.

1977 දී ජේ. ආර්. ජයවර්ධන පරාජිත පක්ෂයක් ජයග්‍රාහී බලවේගයක් බවට පත් කළා සේම, 2029 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය නැවත වෙනස් කිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ බලවේගය තුළ ගොඩනැගෙමින් තිබේ.

එහි පළමු වෙඩිමුරය දැනටමත් තබා අවසන්ය.

අද ආණ්ඩු බලය තුළ සිටින අනුර කුමාර දිසානායක ඇතුළු පාලක කණ්ඩායමටද එම වෙඩිමුරය ක්‍රමයෙන් දෝංකාර දෙමින් පවතී.

2029 යනු තවත් මැතිවරණ වසරක් පමණක් නොවනු ඇත. එය ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන වසරක් වනු ඇත.

එම වෙනස සඳහා වූ ගමන දැනටමත් ආරම්භ වී ඇත…

✍️ ශ්‍යාමා නිල්මිණී

Popular Articles