spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මාණව අනාගතය විනාශකරන අඳුර..

සමාජයක් ලෙස මානව පැවැත්ම ඉදිරියට ගෙන යාමට අපට හර පද්ධතියක් අවශ්‍ය වේ. හර පද්ධතියකින් පොහොණි වූ සමාජය ආකල්පමය ලෙස වටිනාකම් තුළින් පෙරළා සමාජය ගොඩනංවන්න ක්‍රියාකරනු ලබයි. සාරාර්ථ පිරි පරපුරක් උදෙසා අවැසි මගපෙන්වීමට පුළුල් චින්තනයකින් හෙබි ගැඹුරු මිනිස් භාවිතයක් ඉතිහාසය ඉල්ලා සිටී.

නමුත් අද වන විට සමස්ත සමාජයම ආකල්පමය ලෙස ආත්මාර්ථය තුළ අතරමං වී පවතී. අප නොවන වෙනත් අය සමාජය ගොඩනංවනු ඇතැයි යන මිත්‍යා විශ්වාසය තුළ අපි අපේ වැඩක් බලාගෙන සිටිමු යන උදෘතය කවුරුත් කාටත් යෝජනා කරමින් පවතී. එම යෝජනාව තුළ ඉදිරියට ආ සමාජයට තවදුරටත් ඉදිරියක් නොමැත. ආත්මාර්ථය විසින් සියල්ල විනාශ කරමින් පවතී.

නූතන තාක්ෂණික (ජංගම දුරකථන වැනි) මෙවලම් වලට ඇබ්බැහිව මෙන්ම විවිධ මාත්‍රාවෙන් යුත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව අනාගතයක් පුරෝකථනය කළ නොහැකි වර්තමානයකට හිමිකම් කියන වත්මන් තාරුණ්‍යය, නව යෞවනය මෙන්ම ළමා විය තම පරිකල්පනය මොට කරගනිමින්, නිර්මාණශීලිත්වය මෙන්ම සහකම්පනය අහෝසි කරගත් ජීවිත ගෙවා දමමින් පවතී.

මෙම කටුක යථාර්තයට ප්‍රතිපක්ෂව සමාජය දෙස වෙනස් ඇසකින් බලන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් ඔහුට/ඇයට මගහැර යා නොහැකි වගකීමක් අභිමුඛ වෙයි. ඒ අපහැදිලි සදාතනික වර්ථමානය එරෙහිව සුපැහැදිලි සංස්කෘතික අනාගතය වෙනුවෙන් සමාජය සංවිධානය කිරීමයි. එම වගකීමේ දිශානතිය, ජනප්‍රිය නොවන සංකීර්ණය දුෂ්කර මාවතක් වෙත අපව රැගෙන යනු ලබයි. නමුත් එම දුෂ්කර මාවත බාර නොගෙන සමාජය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳව සුබ සිහින ඇති කර ගැනීමට අපට හැකියාවක් නොමැත. එබැවින් ජනප්‍රිය නොවන නමුත් කළ යුතුම කාර්යයක් අප ඉදිරියේ පවතී.

විනාශය අනුමත කිරීම යන පොදු මිනිස් එකඟතාවය නැමති අභාවාචකයේ කරවටක් ගිලී ඇති ජන ජීවිතය ඉන් පිටමංකර ගැනීම සදහා ක්ෂුද්‍ර තලයේ මෙන්ම මහේක්ෂ තලයේ ක්‍රියා කළ යුතු බව අපි සිතමු.

එබැවින් විශේෂයෙන්ම සංස්කෘතික අවකාශයන් හී අපට ඇති කාර්යභාරය පිළිබඳව මනා වැටහීමකින් මෙන්ම අත්දැකීමෙන් සන්නද්ධව අප විසින් ඉදිරි කෙටිකාලීන (වසරක ව්‍යාපෘතියක්) සහ දිගුකාලීන වැඩපිළිවෙලක් සකස් කර ඇත්තෙමු.

01. දිගුකාලීන වැඩපිළිවෙල – අහස පුස්තකාල ජාලය

අහස පුස්තකාල ජාලය හරහා දරුවන්, නවයෞවනයන්, තරුණතරුණියන් මෙන්ම වැඩිහිටියන් සාහිත්‍යයෙන් පෝෂණය කිරීම අපගේ දිගුකාලීන වැඩපිළිවෙලයි. තවද මින් අපගේ වැඩිපුර අවධානය යොමුව ඇත්තේ ළමා සහ නවයෞවන වයස් කාණ්ඩ කෙරෙහිය. මේ හරහා සෑම නිවසකම පුස්තකාලයක් ගොඩනැගීම සදහා අපි ක්‍රියාකරමින් සිටිමු. එපමණක් නොව නිවසක වෙසෙන සෑම දරුවෙක්ම පුස්තකාලයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. රට පුරා, පලාත් තුළ, දිස්ත්‍රික්කයන් හී, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාලගත කරනු ලබන එම පුස්තකාල අතර ඉතා ශක්තිමත් අන්තර්සම්බන්ධතාවයක් ගොඩනැංවීම, එක් එක් පුස්තකාල සංවිධායකත්වයන් විසින් අනෙකුත් පුස්තකාල පෝෂණය කිරීම, පරිකල්පනය වර්ධනය කිරීමට කටයුතු කිරීම, සංස්කෘතික ක්‍රියාකාරකම් මතින් සියලුදෙනා පෝෂණය වීම අපගේ වැඩපිළිවෙලට අයත්ය. එම වැඩපිළිවෙල දැනට සාර්ථකව ආරම්භ කර ඇති අතර මේ වන විට ලංකාව පුරා එවැනි පුස්තකාල 54ක් අපි ආරම්භ කර ඇත්තෙමු. එම පුස්තකාල තුළින් පුළුල් චින්තනයක් සහිත මානව සමාජයක් ගොඩනැගීම අපගේ දිගුකාලීන ඉලක්කයයි. මේ තුළින් අපේක්ෂිත ඉලක්ක වනුයේ,

• නිර්මාණශීලී, පරිකල්පනයෙන් පොහොසත් මෙන්ම සහකම්පනය පිරි පරපුරක් බිහිකිරීම

• මනා සංවිධාන ශක්තියෙන් හෙබි තරුණ ප්‍රජාවක් ගොඩනැංවීම

• පරාර්ථය ජීවන විලාශයක් කරගත් පරපුරක් සමාජයට තිළිණ කිරීම

• පිරිපුන් නායකත්වය පිරි පෞරුෂයන් ගොඩනැංවීම.

• බුද්ධිය පිරි තෘප්තිමත් ජීවිතයක සතුට අනාගතයට ආයෝජනය කිරීම.

• තෘප්තිමත් සංස්කෘතික සමාජයක් බිහි කිරීම.

02. ඉදිරි වසරක සැලැස්ම (කෙටිකාලීන වැඩපිළිවෙල) – අහස තරම් ජීවිතයට (සාහිත්‍ය කඳවුර සහ ප්‍රදර්ශනය)

පාසැල් මට්ටමින් මෙන්ම විවිධ ආයතන මට්ටමින් ප්‍රජාමූළික ක්‍රියාකාරකම් සහ සංවිධාන ක්‍රියාවන් තුළින් “අහස තරම් ජීවිතයට” නමින් සාහිත්‍ය කඳවුරු සහ ප්‍රදර්ශන පැවැත්වීම අපගේ කෙටිකාලීන වැඩපිළිවෙලයි. 2023 සැප්තැම්බර් 28/29 දෙදින SMP මධ්‍යස්ථානයේ දී දවස පුරා මෙහි මූලාරම්භය සිදු කිරීමට නියමිත අතර 2023/2024 ඉදිරි වසරක කාලය තුළ අවම පාසැල් හෝ ප්‍රජාමූළික ස්ථාන 12කදී මෙම “අහස තරම් ජීවිතයට” සාහිත්‍ය කඳවුරු සහ ප්‍රදර්ශන මාලාව දියත්කිරීමට නියමිතය.

මෙම වැඩබිම් තුළින් සාහිත්‍යයේ රසයෙන් සහ හරයෙන් ජිවිත පෝෂණය කරගන්නා පරපුරක් බිහිවනු දැකීම අපගේ අරමුණයි.

ඒ සදහා “අහස තරම් ජීවිතයට” සාහිත්‍ය කඳවුර සහ ප්‍රදර්ශනය සමන්විත වන්නේ පහත ක්‍රියාකාරකම් මතිනි.

• සාහිත්‍යධරයන්ගේ සහ විශ්වීය බුද්ධිමතුන්ගේ ජීවිත ඇසුරෙන් නිර්මාණය කරනා පෝස්ටර් ප්‍රදර්ශනය (“අහස තරම් ජීවිතයට” පෝස්ටර් දැක්ම)

• විවිධ වයස් කාණ්ඩ පිළිබදව සුවිශේෂී මාතෘකා සමගින් විශේෂයෙන්ම නව යෞවනවිය පිළිබඳව විවර කෙරෙන පෝස්ටර් ප්‍රදර්ශනය (“කුණාටු තරණය” පෝස්ටර් දැක්ම)

• පාරිසරික වටිනාකම් මතින් සහ දත්ත සහ තොරතුරු මතින් සමන්විත පෝස්ටර් ප්‍රදර්ශනය (“සියටෙල් පරපුර” පෝස්ටර් දැක්ම)

• සාහිත්‍ය දේශන

• චිත්‍රපට රසවින්දනය

• නාට්‍ය වැඩමුළු නාට්‍ය ප්‍රදර්ශන

• ගී රසවින්දන

• සංවාද

• ගිණි මැලය සහ සංස්කෘතික අවකාශය

• අහස පුස්තකාල ජාලයට ඇතුලත් වීමේ නියමු වැඩසටහන් දියත් කිරීම

පසු සටහන

සකබර්ග් ගේ අවකාශය බොහෝ නිස්සාර දේවල් වලින් පුරවාලන්නට සහ තම ප්‍රතිරූප ගොඩනංවා ගන්නට නිහඩ සම්මුතියක පිහිටා කටයුතු කරන කොදෙව් වටපිටාවක ඉහත සටහන ඔබගේ නෙතට අරුතක්, බලාපොරොත්තුවක්, පරාර්ථයේ යෝජනාවක් වනවා දැකීම අපගේ අරමුණයි. එබැවින් මෙම සාමූහික වැඩ බිමට හැකි අයුරින් සම්බන්ධ වෙන්න කැමති නම් එය අපගේ පොදු අරමුණට විශාල ශක්තියක්.

ඉදිරි කාලයේ රටපුරා විවීධ ස්ථානයන් හී මෙම ප්‍රදර්ශන මාලාව සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ සදහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට හෝ ඔබට හැකිනම් එය වටිනවා.

අපි වැඩ කරමු. වඩා ලස්සන ලෝකයක් වෙනුවෙන්. කොන්දේසි විරහිතව……..

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Facebook

Popular Articles