කිසිදු අවිශ්වාසයක් ,බියක් නොමැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල පැවසීය.
ඉකුත් නොවැම්බර් 14 වැනිදා බලපිටියේ දී Hunas river හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු එසේ සඳහන් කළේය. මෙකී හෝටලය ජපන් ආයෝජන අනුව ගොඩනගා විවෘත කර තිබෙන අතර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ජපානයේ ආයෝජකයන් කණ්ඩායමක් ඇතුළු දේශීය ව්‍යාපාරිකයෝ ද සහභාගී වූහ.
හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ජපන් බසින් ම ජපන් ආයෝජකයන් ඇමතීම ඔවුන්ගේ ඉමහත් සතුටට සහ විශ්වාසයට හේතු බව පෙනේ.
අශෝක රන්වල උත්සව සභාවේදී මෙසේද පැවසීය.
පසුගිය ආණ්ඩු රට පාලනය කළ කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම්වලට සහ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව අප දන්නවා. අප එකල විපක්ෂයේ සිටියදී ත් ඒවාට එරෙහිව කතා කළා.
දැන් අප ආණ්ඩුවක් හැටියට විදෙස් ආයෝජකයන්ට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට වැට බැඳීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අප දන්නවා ඒ කාලයේ සමහර ආයෝජකයන්ට ආයෝජනය කළ මුදලත් අහිමි වුණා. ඒවා යළි ලබා ගැනීමට නඩු හබ කීමට සිදුවුණා.
රටක් හැටියට අප ඒ ගැන ලැජ්ජාවට පත් වෙනවා. නමුත් දැන් ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන හැම යෙන් එකකටම වටිනාකමක් ආරක්ෂාවක් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. කලින් ආණ්ඩු වලදී වගේ ඔබට දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට සන්තෝසම් මුදල් ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ.
ඒ ආකාරයට සන්තෝසම් , හෝ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට එරෙහිව අප නොපමාව ක්‍රියාත්මක වෙනවා. ඔබට සඳහන් කළ යුතුයි අපගේ අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුව ඉතාම බලවත් ආයතනයක්. තරාතිරම නොලබා එය වැරදිකරුවන්ට දඬුවම් කරනවා.
නීති රීති පමණක් නොවෙයි අපේ බැංකු ක්ෂෙත්ර ය ඇතුළු ආයතන වල ව්‍යූහාත්මක පරිවර්තනයන් සිදුවිය යුතු බව ආණ්ඩුවක් හැටියට අප පිළිගන්නවා. ඒ බොහෝ තැන්වල ආයෝජනවලට හිතකර නැති යල් පැනගිය ක්‍රමවේදයන් තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා.
ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් කර විදෙස් ආයෝජනවලට හිතකර ,ආරක්ෂිත, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ඔබට මම සහතික වශයෙන් සඳහන් කරනවා.



