Home Blog Page 30

සනත් ජයසූරිය ඉල්ලා අස්වේ !

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ (High Performance Centre) උපදේශක තනතුරෙන් සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහුගේ ඉල්ලා අස්වීම මෙම මාසය අවසානයේ සිට බලපැවැත්වීමට නියමිතය.

නවයෙන් පත් කළ ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත යොමු කළ ලිපියකින් ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ, උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ තම පත්වීම සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති තනතුර සම්බන්ධයෙන් ඇතැම් කමිටු සාමාජිකයන් ගැටලු මතු කර ඇති බවයි.

එම තනතුරු දෙක අතර “අභිප්‍රේත ගැටුමක්” (conflict of interest) ඇතිවිය හැකි බවට ද චෝදනා එල්ල වී තිබේ.

ජයසූරිය මහතා පවසා ඇත්තේ, ජාතික කණ්ඩායම අභියෝගාත්මක කාලයක් ගත කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය වීමට ඉල්ලීමක් ලැබුණු නිසා තමන් මෙම වගකීම් භාරගත් බවයි. එය රැකියාවක් අවශ්‍ය වූ නිසා නොවන බවද ඔහු අවධාරණය කර ඇත.

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වමින්, මාතරෙන් බිහි වූ ක්‍රීඩකයෙකු ලෙස එම ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධනය තමන්ට ඉතා වැදගත් බව ජයසූරිය මහතා සඳහන් කර තිබේ.

හිටපු ක්‍රීඩකයන්ට ග්‍රාමීය මට්ටමේ ක්‍රිකට් සංවර්ධනය සඳහා දායක වීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු පවසා ඇත. තමන්ගේ වගකීම් දෙක අතර ගැටුමක් ඇති බවට තමන් නොසිතන බවද ඔහු කියා සිටී.

කෙසේ වෙතත්, නව පරිපාලනයේ සාමාජිකයන් එම තනතුරු දෙක එකට දැරීම සුදුසු නොවන බව සලකන්නේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනත් නිල තනතුරක රැඳී සිටිනවාට වඩා මාතර ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් සේවය කිරීම තමන් තෝරාගන්නා බවද ඔහු පවසා ඇත.

එමෙන්ම, නව පරිපාලනයේ කටයුතු සඳහා බාධාවක් වීමට තමන් කැමති නැති බවත්, ක්‍රිකට් පරිවර්තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් එහි ගෞරවනීය තත්ත්වයට ගෙන ඒමට සමත් වේවායි තමන් බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා සඳහන් කර තිබේ.

තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලබාදෙන තම සහයෝගය කිසි විටෙකත් නිල තනතුරකට සීමා නොවන බවද ඔහු අවධාරණය කර ඇත.

නිල ව්‍යුහයෙන් පිටත සිටියද, ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තමන් අඛණ්ඩව දායක වන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉහළට! ආර්ථිකය ස්ථාවර වෙයි

0

බ්ලූම්බර්ග් (Bloomberg) දත්ත වාර්තා පෙන්වා දෙන පරිදි, පසුගිය වසර තුනක කාලසීමාව තුළ වාර්තා වූ ඉහළම වර්ධනය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්ව තිබේ.

ආසියාවේ බොහෝ ප්‍රබල ආර්ථිකයන්හි මුදල් ඒකක අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක, ශ්‍රී ලංකා රුපියල මෙලෙස ශක්තිමත් වීම ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

ගෝලීය මට්ටමින් මැදපෙරදිග කලාපයේ උද්ගත වූ යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට ලෝකයේ බොහෝ රටවලට සිදුවිය.

එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද යම් පීඩනයක් එල්ල කළේය. එසේම, දේශීයව ‘දිට්වා’ ආපදාවෙන් සිදුවූ බලපෑම් සහ ආර්ථික අර්බුදයේ අවශේෂ ගැටලු මධ්‍යයේ වුවද, රජය විසින් ක්‍රියාත්මක කළ නිවැරදි මූල්‍ය කළමනාකරණය මෙම ස්ථාවරත්වයට ප්‍රධාන හේතුව වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී රුපියල අවප්‍රමාණය වී ඇත්තේ ඉතා අඩු මට්ටමක බවයි.

ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික ගමන්මග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැගීමට මේ වන විට හැකි වී තිබේ. එහි වැදගත් ප්‍රතිඵල කිහිපයක් පහත පරිදි වේ,

  • රටේ ආර්ථිකය කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය ඉහළ යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ශක්තිමත් විය.
  • ස්ථාවර ආර්ථිකයක් තුළ සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට අවශ්‍ය පදනම සැකසී ඇත.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පැවතීම, ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය තහවුරු කිරීමට හේතු වී තිබේ.

ආර්ථික අර්බුදයක් පිළිබඳව ජනතාව තුළ තිබූ භීතිකාව දුරලමින්, රට ක්‍රමයෙන් ස්ථාවර භාවයක් කරා ගමන් කරමින් සිටින බව මෙම දත්ත මගින් මනාව පැහැදිලි වේ. ආනයන මත පැවති පීඩනය මැනවින් කළමනාකරණය කර ගනිමින්, නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තීන් තුළින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට වත්මන් රජයට හැකි වී තිබේ.

සොරකම් කළ යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකෑ පුද්ගලයා නීතියේ රැහැනට !

0

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශ කිහිපයක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුකළ රන්මාල කොල්ලකෑම්වලට වගකිවයුතු ප්‍රධාන සැකකරු ලෙසය.

පසුගිය කාලය පුරා මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ යන ප්‍රදේශවලින් දිනපතාම පාහේ රන්මාල කොල්ලකෑම් පිළිබඳ පැමිණිලි ලැබී තිබිණි. සැකකරු මෙලෙස අපරාධ සිදු කිරීමට යොදාගෙන ඇත්තේ සොරා ගන්නා ලද යතුරුපැදි බව විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 80කට වඩා වැඩි වටිනාකමකින් යුතු රන්මාල 18ක් සහ ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 800ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි විය.

අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින මොහු, ග්‍රෑන්ඩ්පාස් වැනි තවත් ප්‍රදේශ කිහිපයකදීම මෙවැනි කොල්ලකෑම් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අදාළ පොලිස් කොට්ඨාසය වෙත යොමු කර ඇත

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීම අභියෝගයක්!

0

පවතින ආර්ථික සහ පරිපාලනමය ගැටලු හේතුවෙන් මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (23) යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණ සඳහා වෙන් කළ ප්‍රතිපාදන ‘දිට්වා’ කුණාටුවෙන් සිදු වූ හානි පියවා ගැනීම සඳහා යොදවීමට සිදුවීම මීට ප්‍රධානතම හේතුව බවයි.

“අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණ ද, දිට්වා කුණාටුවෙන් සිදු වූ හානි පියවීම සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කිරීමට අපට සිදු වුණා. ඒ නිසා මේ වසරේ මැතිවරණ පැවැත්වීම අපහසුයි.

එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නීතිමය රාමුව පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබෙනවා. එම වාර්තා ලැබුණු පසු පැන නැගී ඇති ගැටලු විසඳාගෙන ලබන වසරේ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙස ඉන්දියාවෙන් බලපෑමක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා මහතා, දෙරටේ ආණ්ඩු අතර ඉතා සුහදශීලී සහ අවබෝධාත්මක සම්බන්ධතාවක් පවතින බැවින් එවැනි බලපෑමක් නොමැති බව අවධාරණය කළේය.

තවද, උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාව බලගැන්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවත්, ඒ පිළිබඳ ඉන්දීය රජයට මනා අවබෝධයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

හැටන් දික්ඔය අඹුසැමි යුවළ ඝාතනය කර පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට!

0

හැටන්, දික්ඔය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසා සිටියේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු දික්ඔය ප්‍රදේශයේ විවාහ වී පදිංචිව සිටි අයෙකු බවත්, සිද්ධියෙන් පසුව ඔහු ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ බගවන්තලාව, පෙට්‍රසෝ තේ වත්තේ පිහිටි නිවසක සැඟව සිටියදී තමන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත්ය.

එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද ස්වර්ණාභරණ තොගයද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (24) දිනයේදී දික්ඔය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

හලාවතට බලපෑ තද සුළඟින් නිවාස 200කට හානි !

0

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මැදවත්ත සහ වැල්ල යන ප්‍රදේශවලට බලපෑ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් දැඩි ලෙස හානියට පත්ව තිබේ.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්. ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 200කට ආසන්න සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හානියට ලක්ව ඇති බවයි.

ප්‍රදේශයට බලපෑ ප්‍රබල සුළං දහරාව හේතුවෙන් නිවෙස්වල වහලයන්ට දැඩි හානි සිදුව තිබේ.

උළු සහ ඇස්බැස්ටෝස් තහඩු සුළඟේ ගසාගෙන යාම නිසා නිවෙස් තුළ තිබූ ගෘහ උපකරණ ඇතුළු දේපළ රැසකටද හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

නිවාසවලට සිදු වූ හානි හේතුවෙන් අවතැන් වූ පිරිස්, තාවකාලිකව හෝ සිය නිවෙස් යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිති.

ආපදාවට ලක්වූ පවුල් වෙත අවශ්‍ය සහන සේවා සැලසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී බී.වී. චමින්ද කුමාර මහතා ප්‍රකාශ කළේ, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහන සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සලසමින් පවතින බවයි.

ආනයනික භාණ්ඩ මිල ඉහළ යයි: රුපියලේ කඩාවැටීම සාමාන්‍ය ජනතාවට බරක් වෙයි

0

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. රුපියලේ අගය මෙලෙස පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ උද්ධමනය ඉහළ යාමේ දැඩි අවදානමක් මතු වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව විසින් ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් ආනයනය කරනු ලබන්නේ ඩොලර් මගිනි. රුපියල අවප්‍රමාණය වීමත් සමඟ දේශීය වෙළඳපොළ තුළ එම භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ඉන්ධන මිල ඉහළ යාම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි හා ජල බිල්පත් සහ පොදු සේවාවන්වල මිල ඉහළ යාමට හේතු වන බැවින්, සාමාන්‍ය ජනතාවගේ මාසික වියදම දැවැන්ත ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වා ගැනීමේදී පෙරට වඩා අධික රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මහා බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි, ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යාම වාසිදායක ලෙස පෙනුනද, නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ලාභාංශ සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින තරගකාරිත්වය බරපතළ අභියෝගයකට ලක්වීමේ අවදානමක් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ, ඩොලරයේ අගය ඉහළ යාම යනු වෙළඳපොළ තුළ පවතින ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතිවූ ක්ෂණික තත්ත්වයක් බවයි.

කෙසේ වෙතත්, උද්ධමනය පාලනය කරමින් සහ රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරමින් ඉදිරි පියවර ගැනීම රජයට ඇති ප්‍රධාන වගකීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

ඉරාන-ඇමරිකා සාකච්ඡා තවමත් අර්බුදයක: එකඟතාවකට පැමිණීමට ඇති බාධා තවමත් එලෙසමයි

0

ඉරානය සහ ඇමරිකාව අතර පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉතා සංවේදී අවධියකට පැමිණ ඇතත්, දෙපාර්ශවය අතර පවතින ගැඹුරු මතභේද හේතුවෙන් තවමත් ස්ථිර එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසිම් මුනීර් ටෙහෙරානය වෙත පැමිණ මැදිහත්කාරිත්වයක් දැක්වූවද, ඉරාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉක්මන් විසඳුමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ, දෙරට අතර තවමත් “ගැඹුරු සහ වැදගත් වෙනස්කම්” පවතින බවයි.

ඇමරිකාව තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඇමරිකානු මෝටර් රථ සංගමයේ දත්තවලට අනුව සාමාන්‍ය පෙට්‍රල් ගැලනයක මිල ඩොලර් 4.50ක් ඉක්මවා ගොස් ඇත. මේ තත්ත්වය හමුවේ ‘National Iranian American Council’ වැනි සංවිධාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්නේ, යුද්ධය තවදුරටත් උත්සන්න කිරීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට මුල් තැන දෙන ලෙසයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ඉරානයේ බන්දාර් අබ්බාස් වැනි වෙරළබඩ නගරවල ජනතාව දැඩි ආර්ථික අගාධයකට වැටී සිටිති. වරාය සේවකයින් සහ වෙළෙන්දන් පවසන්නේ තමන්ගේ රැකියා සහ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බවයි. “යුද්ධයේ බර සෘජුවම වැටී ඇත්තේ අප වැනි සාමාන්‍ය ජනතාව මතයි,” යැයි ප්‍රදේශවාසියෙකු වේදනාවෙන් පවසා සිටියේය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) පිළිබඳ සාකච්ඡාද කිසිදු එකඟතාවකින් තොරව අවසන් වීම ලෝක ප්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. ඇමරිකාව සහ රුසියාව සතුව පවතින ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90%ක ප්‍රමාණය, වර්තමාන උණුසුම් වාතාවරණය හමුවේ තවදුරටත් සීමා කිරීමේ ගිවිසුම්ගත වටපිටාවක් නොමැති වීම 1972න් පසු උදාවූ බරපතලම තත්ත්වය ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තවද, ගාසා තීරයේ සහ ලෙබනනයේ ටයර් නගරයේ පවතින යුද වාතාවරණය සහ ජනතාව මුහුණ දෙන මනෝවිද්‍යාත්මක පීඩනය පිළිබඳවද ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබේ. කටාර් සහ පකිස්ථානය මේ වන විට දෙරට අතර විශ්වාසය ගොඩනැගීමට ප්‍රබල මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් සිටී.

රුපියලේ කඩාවැටීම නතර නොකළොත් මුදල් වෙළඳපොළ බිඳ වැටේ – හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි

0

ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීම පාලනය කරමින්, රටේ ආර්ථිකය වගකීමෙන් සහ සැලකිලිමත්ව කළමනාකරණය කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් රජයෙන් දැඩිව ඉල්ලා සිටියි. ඊයේ (මැයි 22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනතුරු ඇඟවූයේ, රුපියලේ අගය පහත වැටීම වහා නතර නොකළහොත් මුදල් වෙළඳපොළ බිඳවැටීමේ දැඩි අවදානමක් පවතින බවයි.

“වර්තමාන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපොළ පිළිබඳ කිසිදු විශ්වාසයක් නැහැ. අපනයනකරුවන් තවදුරටත් රුපියල අවප්‍රමාණය වේ යැයි බියෙන් තම ඩොලර් සංචිත රුපියල් බවට පරිවර්තනය කිරීම නවතා දමා තිබෙනවා. අනෙක් පසින් ආනයනකරුවන් රුපියලේ අගය තවදුරටත් පහත වැටේ යැයි බියෙන් හැකි ඉක්මනින් ඩොලර් මිලදී ගැනීමට උත්සාහ කරනවා. මෙම තත්ත්වය මගහැරීමට බුද්ධිමත් ආර්ථික කළමනාකරණය හරහා මුදල් වෙළඳපොළ තුළ විශ්වාසය ගොඩනැගිය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින උණුසුම් තත්ත්වය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කරන බව පිළිගන්නා අතරම, පවතින යථාර්ථය තේරුම් ගනිමින් අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීමට රජය වහාම සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ අතර, එජාපය විසින් රජයට බරපතල චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ, රුපියලේ අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශ නිකුත් කරන ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් ඇතැම් සංවිධානවලට බලපෑම් කර ඇති බවයි. ඇතැම් සංවිධාන මෙම අර්බුදය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) වැනි සංවිධාන මෙම තත්ත්වය අපනයනකරුවන්ට වාසිදායක විය හැකි බවට ප්‍රකාශ කිරීම තුළින් සැබෑ අර්බුදය වසන් කිරීමට උත්සාහ කරන බවත් එජාපය චෝදනා කරයි. එමෙන්ම, මෙම ආර්ථික අර්බුදයේ බර සාමාන්‍ය කම්කරු ජනතාව මත පැටවීම වහා නතර කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් D.V. චානක මහතා ද සඳහන් කළේ, වත්මන් ආර්ථික තත්ත්වය තුළ දැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.

පාසල් සිසුන් අතර පැතිරෙන වෛරස් මෙනින්ජයිටිස්, අනිසි බියක් ඇති කරගන්න එපා – විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම

0

පවතින කාලගුණික තත්ත්වය සහ උත්සව සමයත් සමඟ පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

දෙනියායෙන් මුලින්ම වාර්තා වූ මෙම රෝගය මේ වන විට දියතලාව (රෝගීන් 28), වැලිමඩ (13) සහ රිකිල්ලගස්කඩ (25) යන ප්‍රදේශවලින් ද වාර්තා වී ඇත.

තද උණ, හිසරදය සහ වමනය මූලික රෝග ලක්ෂණ වන අතර, නිසි ප්‍රතිකාර මගින් දින 5-7ක් වැනි කෙටි කාලයකදී සුවය ලැබිය හැකි බව වෛද්‍යවරයා සහතික කරයි.

රෝගය පැතිරීම පාලනය කිරීමට වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, පාසල් ආශ්‍රිතව ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.