Home Blog

ඊශ්‍රායලය ගාසාවල ළමයින් ඉලක්ක කරගත් මිනිස් සංහාරයක …

0

ඊශ්‍රායලය පලස්තීන දරුවන් හිතාමතාම ඉලක්ක කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය තුළ ජන සංහාරයක්, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදු වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමක් ප්‍රකාශ කරයි. එමෙන්ම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන සිටින බටහිර ඉවුර තුළ ද ඔවුන් යුද අපරාධ සිදු කර ඇති බව එම කොමිසම පවසයි.නවතම වාර්තාවක් මඟින් චෝදනා කරන්නේ ඊශ්‍රායල බලධාරීන් සහ ආරක්ෂක හමුදා “ලක්ෂ සංඛ්‍යාත පලස්තීන දරුවන්ට මරණය, බරපතළ ශාරීරික හා මානසික හානි පමුණුවන ක්‍රියා හිතාමතාම සිදු කර ඇති” බව සහ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගාසා තීරය සඳහා පැනවූ සටන් විරාමයෙන් අනතුරුව පවා මෙම ඝාතන අඛණ්ඩව සිදුව ඇති බවයි.

කොමිසම පවසන්නේ එම ප්‍රහාර “දරුවන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද උපායමාර්ගයක කොටසක්” බව නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.මෙම වාර්තාව “අපහාසාත්මක, ව්‍යාජ” වාර්තාවක් බවත්, ”මීට පෙර නිකුත් කරන ලද වාර්තා මෙන්ම මෙය ද හුදෙක් ප්‍රචාරක ලේඛනයක් පමණක් බවටත් චෝදනා කරමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය පැවසුවේ එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

වියළි සලාක බලාපොරොත්තුවෙන් සිටි පලස්තීන වැසියන් 51 දෙනෙක් ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කෙරෙති
2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයට එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කළේය. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගියහ.

හමාස් පාලනය යටතේ පවතින ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම අවස්ථාවේ සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 21,280කට වැඩි පිරිසක් ඇතුළුව පුද්ගලයන් 73,035කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දත්ත විශ්වසනීය තොරතුරු ලෙස පිළිගනී.ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2021 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ”අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමිය සහ ඊශ්‍රායලය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම” පිහිටුවන ලදී.

සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් එම විශේෂඥ මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් නිල වශයෙන් ප්‍රකාශ නිකුත් නොකරයි.


පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම කොමිසම චෝදනා කළේ ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට එරෙහිව ජනසංහාරයක් සිදුකරන බවටය. ඔවුන්ගේ වාර්තාවක දැක්වුණේ 1948 ජනසංහාරක සම්මුතිය යටතේ අර්ථ දක්වා ඇති ජනසංහාරක ක්‍රියා පහෙන් හතරක්ම ඊශ්‍රායල බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් සිදුකර ඇති බව නිගමනය කිරීමට සාධාරණ පසුබිම් පවතින බවයි.

එය විකෘති සහ අසත්‍ය බව පවසමින් ඊශ්‍රායලය එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

මීට පෙර මෙම විමර්ශන කොමිසම නිගමනය කර තිබුණේ 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සහ අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් යුද අපරාධ සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සිදුකර ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක අංශ ද ගාසා තීරයේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදුකර ඇති බවට කොමිසම මීට පෙර නිගමනය කර තිබිණි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද්ධය අවසන් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ විය.

එතැන් සිට සටන් විරාමය උල්ලංඝනය කරන බව පවසමින් දෙපාර්ශ්වයම නැවත නැවතත් එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගෙන තිබේ. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පලස්තීනුවන් 1,020කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහ ඒ අතර ළමුන් 265 දෙනෙකු ද සිටින බවයි. ඊශ්‍රායල හමුදාව පවසන පරිදි ඔවුන්ගේ සෙබළුන් සිව්දෙනෙකු මියගොස් ඇත.

ඉකුත් අඟහරුවාදා වාර්තාව සමග නිවේදනයක් නිකුත් කරමින් විමර්ශන කොමිසම පැවසුවේ ගාසා තීරය තුළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල දැඩි ස්වභාවය සහ ක්‍රමානුකූල බව අඛණ්ඩව සිදුව තිබූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන දරුවන්ට පෙර නොවූ විරූ මරණ, තුවාල සහ දැඩි මානසික කැලඹීම්වලට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

“2025 ඔක්තෝබර් මාසයේ එළඹි සටන් විරාමයෙන් පසුව පවා දරුවන් ඝාතනය වීම සහ බරපතළ ලෙස තුවාල ලැබීම අඛණ්ඩව සිදුවෙනවා. සටන් විරාමය මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ පලස්තීන දරුවන්ට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳව ඊශ්‍රායලය සලකා බැලීමක් සිදු කර නැහැ.” විමර්ශන කොමිසමේ සභාපතිත්වය දරන ඉන්දීයාවේ ප්‍රවීණ අධිකරණ විනිසුරුවරයෙකු වන ශ්‍රීනිවාසන් මුරලිදර් පැවසීය.

“පලස්තීන දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ පැවැත්ම පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා.” ඔහු වැඩිදුරටත් පවසයි. ”ළමයින් ඉලක්ක කිරීමෙන් ඊශ්‍රායලය සැබවින්ම පහර දෙමින් සිටින්නේ පලස්තීන ජනතාවගේ පැවැත්මට සහ ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට ඇති හැකියාවටයි.”

කොමිසමේ නවතම වාර්තාව පවසන්නේ quadcopter ඩ්‍රෝන යානා සහ ස්නයිපර් තුවක්කු වැනි නිරවද්‍ය ආයුධ භාවිත කරමින් ශරීරයේ වැදගත් අවයවවලට වෙඩි තැබීම මගින් ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන දරුවන් ඍජුව ඉලක්ක කර ඇති බවයි. එමෙන්ම දැඩි විනාශයක් කළ හැකි අවි ආයුධ භාවිත කරමින් ළමුන්ගෙන් පිරී ඉතිරී ගිය නේවාසික ගොඩනැඟිලි, පාසල් සහ අවතැන් කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තාවේ දැක්වේ.

ඊශ්‍රායල සෙබළුන් සහ බටහිර ඉවුරේ වෙසෙන පදිංචිකරුවන් විසින් පලස්තීන දරුවන් ඉලක්ක කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද ඊශ්‍රායලයට නීතිමය වගකීමක් පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වෙසෙන පලස්තීන දරුවන්, විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන්, “ඊශ්‍රායල බන්ධනාගාර සහ රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන තුළදී අත්අඩංගුවට පත්වීම, වධහිංසාවලට සහ අකටයුතුකම්වලට ලක්වීම සිදුව ඇති” බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී හෝ රැඳවුම්භාරයේ සිටින අතරතුර පලස්තීන දරුවන් ඉලක්ක කර සිදු කළ “ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ සිදුවීම්” ද එම කොමිසම ලේඛන ගත කර ඇත.

වාර්තාවට අනුව, ගාසා තීරයේ පිහිටි නොමේරූ බිළිඳුන් සහ ළමුන් සඳහා වන රෝහල් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දරුවන්ට ජීවිතය රැකගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ක්‍රමානුකූලව අහිමි කර ඇති අතර ආරක්ෂිත කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ පැවැත්මට ද එය දැඩි තර්ජනයක් වී ඇත.

ඊශ්‍රායලය සාගින්න යුද උපක්‍රමයක් ලෙස භාවිත කරන බවට ද චෝදනා කරන මෙම වාර්තාව, ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළුවීම සීමා කිරීම හේතුවෙන් ගාසා හි දරුවන් අතර උග්‍ර සහ නිදන්ගත මන්දපෝෂණ තත්ත්වයක් උද්ගත වී ඇති අතර එය ඔවුන්ගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය මූලික තත්ත්වයන් පවා අහිමි කර තිබෙන බවට ද අනතුරු අඟවයි.

එමෙන්ම අදාළ වාර්තාවෙන් චෝදනා කරන්නේ පාසල් වෙත එල්ල කරන ප්‍රහාර, මහා පරිමාණ අවතැන් කිරීම සහ බලහත්කාරයෙන් වසා දැමීම හරහා ඊශ්‍රායල බලධාරීන් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ක්‍රමානුකූලව කඩාකප්පල් කර ඇති අතර එමගින් පලස්තීන සමාජයේ බුද්ධිමය හා සමාජීය පදනම විනාශ කරමින් සිටින බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මෙම වාර්තාව දැඩි ලෙස හෙළා දැක තිබේ. ඔවුන් පවසන්නේ මෙම කොමිසම “සත්‍යය සෙවීම වෙනුවට, ඊශ්‍රායලය හුදකලා කිරීම සහ අපකීර්තියට පත් කිරීම අරමුණු කරගත් මූලික වශයෙන් දෝෂ සහිත යාන්ත්‍රණයක්” වූ බවයි.

“හමාස් සංවිධානය විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද, පැහැර ගන්නා ලද සහ ඉලක්ක කරන ලද ඊශ්‍රායල දරුවන් පිළිබඳ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම මකා දමා තිබෙන අතර හමාස් සංවිධානය විසින් පලස්තීන දරුවන් මිනිස් පලිහක් ලෙස සහ යුද්ධයේදී ඉත්තන් ලෙස භාවිතා කිරීම ද මෙහිදී නොසලකා හැර තිබෙනවා,” එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි. එමෙන්ම ඔවුන් චෝදනා කළේ කොමිසමට එම චෝදනා විශ්වසනීයව තහවුරු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවයි.

ජනසංහාරය පිළිබඳ එල්ල වන චෝදනා ඊශ්‍රායල නායකයන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පවසන්නේ ගාසා තීරය තුළ සිදු කරන සිය හමුදා මෙහෙයුම් ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සහ හමාස් ඇතුළු අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් පරාජය කර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් සිදු කරන බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවත්, සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල හමුදාව ජනසංහාරයක නිරත වන බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද නඩුවක් මේ වන විට ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. නමුත් ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට වසර කිහිපයක් ගත විය හැක. ඊශ්‍රායලය මෙම නඩුව හඳුන්වා දී ඇත්තේ “පදනම් විරහිත” සහ “පක්ෂග්‍රාහී සහ අසත්‍ය ප්‍රකාශ” මත පදනම්වූවක් ලෙසය.

මාස්ටර්ප්‍රේමසිරි කේමදාස සහ එරික් ඉලයප්ආරච්චි –

0

සිංහල ගීතය, සිනමා සංගීතය, නාට්‍ය සංගීතය, නාද කාව්‍යය හෙවත් ටොන් පොයම්, කැන්ටාටා සහ ඔපෙරා යන ක්ෂේත්‍රවල කේමදාස සංගීතඥයකු ලෙස සක්‍රීය වූ වකවානුව සිංහල සංගීත කලාවේ පමණක් නොව සමස්ත මෝසම් ආසියානු සංගීත කලාවේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් අවසන් වූ යළි නොඑන කාල වකවානුවකි.

ඒ සංගීතයේ ශ්‍රේෂ්ඨත්වය හා අන්තර් – මහද්විපික වටිනාකම තහවුරු කරන ලද්දේ ලෝ ප්‍රකට සංගීත මෙහෙයවන්නකු වූ ඔලිවර් ඔචානයිනි විසින් මෙහෙයවන ලද, සන් සිම්ෆනි ඔකෙස්ට්‍රාව විසින් ලෝක පූජිත මහා සංගීතකරුවන් වූ පුචිනි හා ලෙහාර්ගේ ආරියා ගායනා නිර්මාණ සමඟ කේමදාසගේ ‘අග්නි ආරියා -ශ්‍රීයා’ නම් ඔපෙරා ගායනය ද, ජාත්‍යන්තර ඔපෙරා ගායිකා තරංගා ගුණතිලක මැතිනියගේ ගායනයෙන් විදේශගතව සිදු කිරීමෙනි. පුචිනි La boheme, Tosca, Madam Butterfly ඇතුළු ඔපෙරා රැසක සංගීතකරුවා වන අතර ෆ්‍රාන්ස් ලෙහාර්, ඔපරෙටා ඇතුළු සම්භාව්‍ය සංගීත නිර්මාණ රැසක සංගීතකරුවා ය.

එය සිංහල භාෂීය ඔපෙරා ගායනාවක්, ජාත්‍යන්තර මට්ටමේ ඔපෙරා ගායිකාවක, එවැනි සංද්ධවනි වාද්‍ය වෘන්දයක් සමඟ ගායනා කරන ලද මුල් අවස්ථාව විය හැකි ය. එය ශ්‍රවණය කළ රසිකයකු විසින් තබන ලද ප්‍රශංසාත්මක කෙටි සටහනකින් කියවුණේ මෙවැන්නකි. ‘සුන්දරයි. ශ්‍රී ලංකාවේ මෙහෙමත් පොහොසත්කමකින් අනූන ලාලසාවන් තිබිලා! ’ (Ashen Cooray 24. January 2018)

සරල සංගීතය, සම්භාව්‍ය – හින්දුස්ථානි, සම්භාව්‍ය – කර්ණාටික්, චේම්බර්, ෆිලාමොනික් යනාදි වශයෙන් වෙන් වී ඇති සංගීත සම්ප්‍රදායන් ස්වකීය වූ සංගීත පරිපාටීන් වෙනුවෙන් යොදා ගත් ප්‍රේමසිරි කේමදාස එමඟින් ලාංකේය ශ්‍රවණතාවට ආමන්ත්‍රණය කළේ ය. ඔහුගේ සංගීතය නන්විධ ලෙස සිංහල සරල ගීතය, සිනමා සංගීතය, නාට්‍ය සංගීතය, ටොන් පොයම්, කැන්ටාටා, ඔපෙරා යනාදි සංගීත ශානරයන් තුළ වඩාත් සංකීර්ණ හා ශුද්ධ සංගීත ආකෘතීන් දක්වා වර්ධනය වන විටත් ලාංකේය සංගීත රසිකයාට ඒවා වැළඳ ගන්නට පුළුවන් වීම ඔහුගේ සංගීතයේ පැවතුණු සුවිශේෂ ලක්ෂණයක් විය. එය මෙරට කිසිදු පෙරදිග හා අපරදිග සම්භාව්‍ය සංගීතකරුවකු අත්පත් කර නොගත් කලාත්මක හා සංස්කෘතික ජයග්‍රහණයකි.

තවද නොයෙක් අවස්ථාවල මෙරට පෙරදිග සංගීත විශාරදයින් මෙන් ම අපරදිග සංගීත විශාරදයන් ද විසින් සපයන ලද සිනමා හා නාට්‍ය සංගීතයට වඩා කේමදාසගේ සිනමා හා නාට්‍ය සංගීතය උසස් මට්ටමක පැවතුණි. එම සංගීතය මඟින් ඒ චිත්‍රපටවල අර්ථය නව තලයක් කරා ඔසවනු ලැබී ය.
සම්භාව්‍ය සංගීතඥයින් ව්‍යවහාරික සිනමා සංගීතය තුළ දැක් වූ ඒ අසමර්ථතාව සත්‍යජිත් රායිගේ සිනමාව සම්බන්ධයෙන් ද අදාළ ය. ලොව ශ්‍රේෂ්ඨතම සිතාර් වාදකයකු වූ පණ්ඩිත් රවි ශංකර්ගේ සංගීතය පවා තම සිනමාවට ප්‍රමාණවත් නොවන බව දකිමින්, සත්‍යාජිත් රායි විසින් ම ඔහුගේ පසුකාලීන චිත්‍රපට සඳහා සංගීතය සපයන ලද්දේ ය.

කේමදාසගේ සංගීතය ජන මනසට සුගම වූවක් වූ අතර සිනමා ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය මෙන් ම සංගීතය ද වැළද ගත්හ. එහි දී ඔහුගේ සංගීතය සිනමාත්මක වන අතරේම සිනමා කෘතිය ද සංගීතාත්මක විය. එමඟින් අදාළ සිනමා කෘතියේ පොලා පැනීමක් සලකුණු කරන ලද අතර එම සංගීතය ‘ඩොක්ටර් ෂිවාගෝ සංකීරණයක්’ ලෙස ද, මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය තුළ සිනමා කෘතියේ රෝග ලක්ෂණය විශද කිරීමක් ලෙස ද මතු විය. ගොළු හදවත හා බඹරු ඇවිත් චිත්‍රපට දෙකෙහි ලා එකී ‘ෂිවාගෝ සංකීර්ණය,’ ඒවායේ රෝග ලක්ෂණය ලෙස මතු වේ. ඩේව්ඩ් ලීන්ගේ ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටය, එහි වූ මොරිස් ජාරේගේ සංගීතය නිසා උත්කෘෂ්ටත්වයට පත් වූ අතර, විප්ලවයේ ප්‍රගමනය හා නිර්ණය කළ නොහැකි ආදරය හඹා යාම අතරෙහි වූ ‘කාංසාව’ (anxiety) එහි ප්‍රමෝදාත්මක රෝග ලක්ෂණය ලෙස මතු විය. එය විප්ලවයේ ජවය විසින් ම මතු කළ අවිඥානක ආශාවේ විප්ලවීය මතු වීමක් වූ නමුදු තත්කාලීනව සමනය කළ නොහැකි වූ ප්‍රතිරෝධයක් ඉන් මතු කෙරිණි. ෂිවාගෝ සංකීර්ණය උපදින්නේ ඒ ඝට්ඨනය අබිමුවේ මතුවන ‘කාංසාව’ හේතුවෙනි. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ යූරී ෂිවාගෝගේ ඛේදාන්තය එහි පරම ප්‍රකාශනය විය. මොරිස් ජාරේගේ සංගීතය ඒ සංකීර්ණය මැනවින් ස්පර්ශ කරන්නට සමත් වූවකි.

කේමදාසගේ ‘ගොළු හදවත’ සංගීතය ‘පෙරළා නොලද’ හා ‘නොම ලද හැකි’ ප්‍රේමයේ ෆැන්ටසිය නිවමමින්, එහි කාංසාමය රෝග ලක්ෂණය මතු කරන අතරේ ‘බඹරු ඇවිත්’ එහි ප්‍රතිවිරෝධය ලෙස ගැහැනියගේ ප්‍රේමය වෙනුවෙන් ‘නීච බලය හා අධිපති පංතික ලිංගික ආශාව හිලව් කිරීමේ සඳහා පිරිමියාට ඉඩ විවෘත වීමේ’ ෆැන්ටසිය එහි රෝග ලක්ෂණය ලෙස විශද කරයි.

ඒ දෙවැන්නේ දී ඔහුගේ සංගීතය සිනමාව සමඟ අත්වැල් බැඳ ගනිමින් කොයි තරම් දුරක් ගමන් කරන්නේ ද යත්, එම ෆැන්ටසිය හා රෝග ලක්ෂණය විසංයෝජනය කරන්නා වූ හද විනිවිදින විසංයෝජනාත්මක සංගීතයක් ද ‘හඳුනා ගත්තොත් ඔබ මා’ ඔස්සේ නිමවයි. තවද ඒ අවස්ථා දෙකේ දී ම ‘නොලද ප්‍රේමය’ හෝ ‘අවලම් ප්‍රේමය’ සමඟ නොනවතින සංගීතකරුවා, ප්‍රේමනීය ජීවිතයක මානුෂික උද්දාමය ද ස්වකීය සංගීතය ඔස්සේ උත්කෘෂ්ට කරවයි. පරාජිත ප්‍රේමයට හෝ අවලම් ප්‍රේමයට හවුල් වූවන් සිටිය දී ඔවුන්ගේ සීමා ඉක්මවා යමින් මහා මානුෂික ප්‍රේමයේ උද්දාමය ද පළ කරයි. ‘දෑස නිසා’ චිත්‍රපටයේ, මනාලිය දිය මත පාරුවෙන් කැඳවා ගෙන එන අවස්ථාවේ නැ‍ඟෙන සංගීතය ද මෙවැන්නක් විය.

ස්වකීය සංගීතය තුළ දී කේමදාස මිනිස් හඬට ලබා දෙන ලද තත්ත්වය, සම්ප්‍රදායික ගායනීය උච්චාරණය නොලසව ඉක්මවා යයි. එහි දී ඔහුගේ අසහාය සංගීතඥභාවය යොමු වුණේ ගායකයකුට ආවේණිකව පවතින හඬින්, ඔහු හෝ ඇය ලවා ස්වර රචනය ගායනා කරවීමට නොවේ. ගායකයාගේ හඬ, වාද්‍ය වෘන්දයේ සහයන නාදයක් ලෙස වර්ධනය කොට බටහිර මිනිස් නාද කලාවේ අර්ථයෙන් ප්‍රභේදාත්මක කිරීමට ය.

එවිට අපට ගායකයා වෙතින් ඇසෙන්නේ ‘ප්‍රභේදාත්මක ලෙස වර්ගීකරණය කළ හැකි’ අන්දමේ අපූර්ව නාද මාලාවකි. සංගීතාත්මක මිනිස් හඬ පිළිබඳ එම වැදගත් කාරණයේ දී අමරදේව ද, ජෝතිපාල ද, එම්. එස්. ප්‍රනාන්දු ද යන වෙනස නොතිබුණි. උත්කෘෂ්ටත්වයට පත් කෙරුණු මිනිස් හඬක් ලෙස, ගායකයා නම් ‘හඬක් මිස අන් කිසිවක් නැති නයිටිංගේල් කුරුල්ලා,’ කේමදාස සංගීතයේ දී පද රචනාවෙන් හා ස්වර රචනාවෙන් පමණක් නොව ඊනියා ගායකයා ලෙස පෙනී සිටින ජනප්‍රිය පුද්ගලයාගෙන් පවා නිදහස් වේ.

ඇගේ හෝ ඔහුගේ කටහ‍ඬෙහි ‘කණිකා රටාව’ (grain of voice) ඔහුට වැදගත් විය. ඔහුගේ සංගීතවේදයෙහි ලා ගායනය ගීතයක රූපික වියමන ඉක්මවා යයි. ගායකයා ලවා ගායනා කරනු ලබන්නේ භාෂාවේ සාමාන්‍ය වාචික ව්‍යවහාරය (parole) පමණක් නොවේ. සෝෂියානු අර්ථයෙන් භාෂාවේ ව්‍යුහය (langue- ලාංග්) ද ඔහු ලවා ගායනයෙන් මතු කරවයි.

සංගීතයේ දී සාර්වසංග්‍රහවාදියකට සමාන වූ කේමදාස, පෙරපර දෙදිග සංගීත පද්ධති හා ජන සංගීත පද්ධතිය පමණක් නොව බැරොක්, රෝමෑන්ටික්, උපස්ථිති හා මිනිමල් සංගීතය හැඩතල භාවිතයට ගෙන ඇත. ‘කිලර්’ කැසට් පටයේ දී අප දකින්නේ බ්‍රෙෂ්ටියානු නාට්‍යාත්මක විරෝධය සමඟ මතුවන අනාගතවාදී සංගීතයකි. ජනතාවාදය නොතකා වර්ධනය වන්නා වූ අරගලකාරී හා විරෝධාත්මක සංගීතයක් එහි තිබේ. එය මර්ධනය නොතකන අවිඥානයේ ලාලාසවත් (passion) උද්දාමය යි.

අවසාන වශයෙන් කේමදාසගේ සංගීතය මඟින් නූතන විශ්ව සංගීත විචාරවේදයට (music criticism) සිංහල සංගීතය විවෘත කර දී ඇත. පුරෝගාමී වූ සමකාලීන සිංහල විචාර වකවානුවක් වෙනුවෙන් සංගීත අවකාශය විවෘත කර දෙන්නට ඔහුගේ නිර්මාණ සමත් විය. එහි දී සංගීතයේ සෞන්දර්යවේදය දාර්ශනික හැදෑරීමක් ලෙස සැලකීම, සංගීතාත්මක ගොඩනැංවීමක පවතින්නා වූ දාර්ශනික කාරණාවන් සිතියම් ගත කිරීම හා හඳුනා ගන්නා වූ දාර්ශනික කතිකාංගයන් තුළ මිනිස් ජීවිතය එහි බලවේග සමඟ පවතින සහසම්බන්ධය විමසීම සිදු විය. තවද පුරාවෘත්තවේදය (Mythology), මානවවිද්‍යාව හා මනෝවිශ්ලේෂණය කරා යොමු වීමක් මඟින් එය වඩාත් පුළුල් කෙරිණ.

එහි දී අග්නි ඔපෙරා සංගීතය මුල් කර ගනිමින්, එය වැඩබිමක් ලෙස සලකා, අභාවප්‍රාප්ත රෝහාන් පෙරේරා විසින් ගන්නා ලද පුරෝගාමී මෙහෙවර සම්පූර්ණයෙන් ම දාර්ශනික අභ්‍යාසයක් වන අතර එහි සංගීත පැරැක්සීසය හෙවත් භාවිතවේදය, ග්‍රීක හා ලාංකේය පුරාවෘත්තවේදය, මානවවිද්‍යාව, ප්‍රපංචවිද්‍යාව හා ව්‍යුහවාදය දක්වා ව්‍යාප්ත විය. එයින් පැහැදිලි වන්නේ කේමදාස සංගීතය තුළ පවත්නා විචාරක හා විවේචක න්‍යායික විභවතාවයි.

සිංහල සංගීතය ‘අසන්නාගේ කලාව’ (listener’s art) ලෙස වර්ධනය කිරීම සම්බන්ධයෙන් කේමදාස සංගීතය මඟින් විශේෂ සේවයක් සිදු කර ඇත. එය ජන සංගීතය, නාඩගම්, නූර්ති, සරල ගී, කණ්ඩායම් ගී, ශාස්ත්‍රීය ගායනා වැනි විවිධ ශානරයන් මඟින් ප්‍රශංසනීය ආකාරයෙන් ගොඩනඟා තිබූ ‘සිංහල අසන්නාගේ කලාව’ නූතනවාදය වෙත තල්ලු කිරීමයි.

සිංහල සංගීතය ‘අසන්නාගේ කලාව’ ලෙස වර්ධනය කිරීම නම් විශේෂ කාරණයෙහි ලා රුක්මනී, ආනන්ද සමරකෝන්, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, ජෝතිපාල, සුනිල් ශාන්ත හා අමරදේව ප්‍රමුඛ ගායක ගායිකාවන් විසින් ඉටු කරන ලද සුවිශිෂ්ට සේවය කොයි තරම් ද යත් සුවිශාල ජාතික ශ්‍රවණාගාරයක්, ඩයස්පොරික ශ්‍රවණාගාරයක්, ග්‍රැමෆෝන් කර්මාන්තයක් හා ගුවන්විදුලියක් බිහි කරන්නට යෙදුණි. එහි ලා වෙන්ව ගමන් කළ කේමදාසගේ සංගීත නූතනවාදය, ‘අසන්නාගේ කලාව’ පිළිබඳ කාරණයේ දී තමාගේම වූ ස්වරූපයක් ලබා ගන්නට සමත් විය. සංගීත ශ්‍රාවකයාගේ දෘෂ්ටිකෝණයෙන් එහි පැවතියේ කෙබඳු සංගීතාත්මක ආශ්චර්යයක් ද?

එහි දී වැදගත් වන්නේ, කවර සුවිශේෂ කේවල රූපයක් ලබා ගත්තේ වී නමුදු එය ද පෙරළා සිංහල සංගීතයේ මහජන පරිමණ්ඩලය තුළ රැඳවීමෙහි ලා කේමදාස දැක්වූ සුධීමත්භාවය යි. නූතනවාදී සංගීතඥයකු ලෙස සැලකෙන ශ්‍රේෂ්ඨ ස්ට්‍රැවින්ස්කි සම්බන්ධයෙන් ලෙනාර්ඩ් බර්න්ස්ටයින් දක්වන අදහස කේමදාස සම්බන්ධයෙන් ද ගැලපේ.

“ස්ට්‍රැවින්ස්කි ‘නයිටිංගේල්ගේ ගීතය’ රචනා කළේ ධනේශ්වරය තැති ගන්වා, වියරු කරන්නට හෝ මුෂ්ටි සටන් ඇවිළ වීමට නොවේ. එය ලීවේ හුදෙක් සිත් ප්‍රමෝද කරන්නට, පිනවන්නට හා නන්දනීයව සහ සහකම්පනිකව පවතින්නට ය.”

මේ කාරණය ‘කිලර්’ නිර්මාණ, බ්‍රෙෂ්ට් නිර්මාණ, ඇවන්ගාඩ් මට්ටමේ අතිප්‍රබල නාට්‍ය තේමා හා මාතිකා, හඳුනා ගත්තොත් ඔබ මා, පොළොව කොටන තැන, අග්නි ගායනා වැනි ධනේශ්වරය තැති ගන්වන්නට, වියරු කරන්නට හෝ මුෂ්ටි සටන් අවුළ වන්නට රචනා කළා සේ පෙනෙන සංගීත රචනා සම්බන්ධයෙන් ද අදාළ වේ. ඇත්ත වශයෙන් වියරු කිරීම හා මුෂ්ටි සටන් ඇවිළ වීමේ ගුණය ඒවාටත් වඩා ගොළු හදවත, හංස විලක්, පාර දිගේ, දෑස නිසා හා පුර සක්මන සංගීතයේ දී අපි අසන්නෙමු.

සංගීත කලාව තුළ නූතනත්වය නිර්මාණය කරනු ලබන්නේ කුමක් විසින් දැයි බර්න්ස්ටයින් අසයි.

“මෝසාට් හා චයිකොව්ස්කි සම්බන්ධයෙන් අපි අදාළ කර ගන්නා සෞන්දර්යට (Beauty) සිදු වුණේ කුමක් ද? නූතන සංගීත සංරචකයින් සෞන්දර්ය අමතක කර දැමුවා ද?”

බර්න්ස්ටයින් පවසන්නේ, ඒ ඒ කාලයේ දී විප්ලවීය ලෙස සැලකූ අතීතයේ විසූ මහා සංගීතඥයින්, ඔවුන්ට උරුම වූ සංගීත සම්ප්‍රදායේ විෂයපථය පුළුල් කළා සේ, නූතන සංගීතඥයින් ද ඔවුන්ට පෙර තිබූ සංගීතය ස්වාභාවික විස්තෘත කිරීමක නිරත වන බව ය. එනමුත් එක් මූලික වෙනසක් සිදු වී තිබෙන බව බර්න්ස්ටයින් පවසයි.

එම වෙනස වන්නේ තානීයතාව යි (tonality). සෞන්දර්යට සිදු වුණේ කුමක් ද යනුවෙන් විමසන ප්‍රශ්නයට පිළිතුර එය බව ද ඔහු කියයි. ඔහු ඉන් අදහස් කරන්නේ එක් ‘ස්වර ධවනි ගුණයක්’ ලෙස කිසියම් තානයක් (tone) මුල් තැන්හි තබා, සෙසු තානයන් ඒ මත පරායත්ත කිරීම යි. ඇත්ත වශයෙන් ‘කේමදාසගේ අසන්නෝ’ ඔහුගේ කලාව ලෙස හඳුනා ගන්නේ ඔහුගේ ‘සංගීතයේ තානීයතාව’ යි. එය නිකුත් කරන්නට යොදා ගැනෙන ‘සංගීත පටිපාටිය’ ඔහුගේ අසහාය හා කෝපාවිෂ්ට කලාත්මක ශ්‍රමය විය.

ගායනයේ දී මෙන් ම වාදනයේ දී ද එකී තානියතාවට ඔහු විසින් එකතු කරන තවත් කාරණයක් ඇතැයි සිතමි. ඒ ස්වරවෛශිෂ්ට්‍යය (timbre) යි. වාදනයේ දී ද, ගායනයේ දී ද තානීය ස්වරතාවේ සුවිශේෂ ගුණය ඔහු ඉමහත් පරිශ්‍රමයකින් හඹා ගියේ ය. ඔහු වාදකයින්ගෙන් මෙන් ම ගායකයින්ගෙන් ද උදුරා ගත් ‘ස්වරවෛශිෂ්ට්‍යය’ ඔවුන් අන් තන්හි ප්‍රකට කරන ලද ස්වාභාවික හා සාමාන්‍ය ‘ප්‍රකාරයක්’ නොවී ය.

ගායකයා අනෙකකු වූවත් ඔහුගේ හෝ ඇයගේ ස්වරවෛශිෂ්ට්‍යය හුදෙක් ම ‘කේමදාසියානු ප්‍රපංචයක්’ විය. එය යළි ලබා ගත හැක්කේ පුනරුච්චාරණයෙන් නොව තරංගා ගුණතිලක මැතිනියගේ ‘ශ්‍රීයා’ ආරියා ගායනය බඳු සම්භාව්‍ය මට්ටමේ කෘතහස්ත හා සුවිශිෂ්ට ප්‍රතිනිර්මාණයකින් පමණි.

කේමදාසගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ ගායකයින් මෙන් ම වාදකයින් ද, ඔහුගේ ගායනා හා වාදන සම්බන්ධයෙන් අවලංගු වීම හා සාමන්‍යකරණය වීම සිදු වන්නේ ද, ඇතැම් විට විකාර සහගත වන්නේ ද එබැවිනි. එහෙයින් කේමදාස සංගීතයේ සුවිශේෂ ‘වෙනසියාව’ වන්නේ ඔහුගේ ස්වරවෛශිෂ්ට්‍යය යි.

සජබ ය අධිකරණ තීන්දුව එනතුරු , චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු වගකීම් වලින් ඉවත් කරයි..

0

2023 වසරේ සිදු කළ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දැරූ සියලු තනතුරු වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මේ පිළිබඳව සඳහන් කර ඇත.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර ඔහු එවකට තම පක්ෂයේ කිසිදු තනතුරක් නොදැරූ බව ය.

සමගි ජන බලවේගය කිසිදු විටෙක දුෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට විරුද්ධ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රකිත චරිත් එක්ක විජයදාසත් ගියාදැයි පරීක්ෂණ

0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බ්‍රහස්පතින්දා (ජූනි 25) නියම කළේ ය.
‘හිටපු අධිකරණ ඇමතිවරයාත් ඩුබායි සංචාරයට එක්ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා’
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මෙසේ පැවසීය.. ස්වාමීනී අල්ලස් කොමිසමට ලැබුණු නිර්නාමික පැමිණිල්ල අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. මෙම විමර්ශනයේදී දුරකතන සංවාද පටයක් හමුවෙනවා. ඒ දුරකතන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තෙකු අතර.

එහිදී සැකකාර චරිත් අබේසිංහ ප්‍රකාශ කරනවා, මාකඳුරේ මධුෂ්ට වෙච්ච දේ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා හරක් කටාගේ ඩී.ඕ. ඉවත් කරලා බූස්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට යැවිය හැකි බවට.

“ඒ සඳහා අවශ්‍ය සහන ලබා දිය හැකි බවත් මේ සැකකරු ප්‍රකාශ කරනවා.

“මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳ වන මදුශානිට දැනුම් දෙනවා.

“පසුව 2023 වසරේ මාර්තු මස 25 වන දා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා. එම අවස්ථාවට මිදිගම රුවන් නමැති පුද්ගලයාත් සහභාගී වෙනවා.

S

සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“එහිදී කලින් දැනුම් දන් පරිදි හරක් කටා නමැති පුද්ගලයාගේ ඩී.ඕ. ඉවත් කර ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසා දීම සඳහා මෙම සැකකරුවන් රුපියල් කෝටි පනහක මුදලක් ඉල්ලා සිටිනවා. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කරනවා.

“එහිදී හරක් කටාගේ බිරිඳ ප්‍රකාශ කරනවා තමන්ට ඒ තරම් මුදලක් ලබා දිය නොහැකි බවට. ඒ අනුව එම මුදල කෝටි 20 දක්වා අඩු කරනවා. ඉන් අනතුරුව එම මුදලින් රුපියල් කෝටි දොළහක මුදලක් අත්තිකාරම් වශයෙන් මේ සැකකරුවන් ඉල්ලා සිටිනවා.

“එම මුදල ලබාදෙන්න හරක් කටාගේ බිරිඳ එකඟ වෙනවා. ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් කෝටි දහයක් සහ පසු දා තවත් කෝටි දෙකක මුදලක් හරක් කටගේ බිරිඳ විසින් ලබා දීම සිදුකරනවා.

“මේ මුදල් ලබාදී තිබෙන්නේ ඩිරාම්වලින්. මෙම කරුණ මේ වන විට අත්අඩංගුවේ පසුවට මිදිගම රුවන් නමැති පුද්ගලයා ලබා දුන් ප්‍රකාශයෙන් ද තහවුරු කර තිබෙනවා. ඊට අදාළව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක් ද අප ළඟදී ම අධිකරණයට ඉදිරිපත් කරනවා.

“ඒ වගේ ම හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නමැති පුද්ගලයාත් මේ කාරණය තහවුරු කරමින් ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා,” යනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා.

වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙසේ ද පැවසුවා ය:

“මෙම මුදල් ලබාගත් පසුව පොරොන්දු වූ පරිදි හරක් කටාගේ ඩී.ඕ. ඉවත්වීම සහ ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සිදුවන්නේ නැහැ. ඒ නිසා එම මුදල් ආපසු ලබා දෙන්න කියලා හරක් කටාගේ බිරිඳ හර්බි නමැති පුද්ගලයාට බලපෑම් කරනවා.

“ඒ අනුව ඔහු චරිත් අබේසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. එහිදී සැකකරු ප්‍රකාශ කරන්නේ කෝටි දෙකක පමණ මුදලක් ලබාදිය හැකි බවත් සෙසු මුදල් ලබාදීමට හැකියාවක් නොමැති බවත්.

“ඒ අනුව මේ සැකකරුවන් විසින් මෑතකදී ඝාතනය කෙරුණු මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකරට අදාළ කෝටි දෙකක මුදල ලබා දී තිබෙනවා. පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඉන් අනතුරුවයි අල්ලස් කොමිසම මේ විමර්ශනය ආරම්භ කළේ.

“මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරක් කටාගේ බිරිඳ වන මදුෂානිගෙන් තවමත් ප්‍රකාශයක් අරගෙන නෑ. ඇය ඉන්දුනීසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඇය විමර්ශනවලට සහය වෙන්නත් එකඟ වී තිබෙනවා.එසේ ම මේ සැකකරුවන් 2023 වසරේ මාර්තු මස 25 වන දා ඩුබායි රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් 2023 වසරේ මාර්තු මස 29 වන දා දිවයිනට පැමිණ තිබෙන බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.”

‘රඛිත රාජපක්ෂ ස්ලීප් ඇප්නියා රෝගයෙන් පෙළෙනවා’
ඉන් පසුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, “මගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුට හෙට දිනයේත් මේ අධිකරණයේ නඩුවකට පෙනී සිටින්න තිබෙනවා. ඒ නිසා රිමාන්ඩ් එකේ හිඳන් තමයි ඔහුට ඒ නඩුවට පෙනී සිටින්න වෙන්නේ ,” යනුවෙන් පැවසීය.

ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා මෙලෙස විමසීය: “මේ සැකකරු ඇයි හෙට බන්ධනාගාරයේ සිට එන්න ඕන?” යනුවෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, මෙම සැකකරු අද රක්ෂිත බන්ධනාගාරගත වුවහොත් ඔහුට හෙට දින මෙම අධිකරණයට පැමිණීමට සිදුවන්නේ බන්ධනාගාරයේ සිට බව ය.

ඉන් අනතුරුව වැඩිදුරත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙසේ ද පැවසීය:

“මගේ සේවා දායකයා නීතිඥවරයෙක් නිසා ඔහු භාර ගත්ත නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල තිබෙනවා. ඔහු රිමාන්ඩ් භාරයට පත් වුණොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේවි.

“ඇප ඉල්ලීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සලකන මෙන් මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඔහුට “ස්ලීප් ඇප්නියා” නමැති රෝගී තත්ත්වයක් තිබෙනවා.

“ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තා ද මම අධිකරණයට ඉදිරිපත් කරනවා. එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නැහැ. ඒ නිසා ජීවිත අවදානමක් පවා ඇතිවෙන්න පුළුවන්. මෙම කරුණු සියල්ල සුවිශේෂි කරුණු සේ සලකා මගේ සේවාදායකයාට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

‘අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග චරිත් අබේසිංහට වැළඳිලා තිබෙනවා’
ඉන් අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, “ස්වාමීනී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බරපතළ අපරාධ චෝදනා සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයින් ලබාදුන් ප්‍රකාශ මත. එවැනි පුද්ගලයින් ලබාදෙන ප්‍රකාශ මත පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීම සුදුසු නැහැ.

“මගේ සේවා දායකයා හෘදයාබාධයකින් පෙළන පුද්ගලයෙක්. ඔහුට ස්ටෙන්ට් හතරක් දාලා තියෙනවා. තවත් පහක් දාන්න තිබෙනවා. අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට අවාසනාවකට මෙන් වැළඳිලා තිබෙනවා,” ඒ නිසා ඒවා සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් පසුව තුන්වන සැකකරු වශයෙන් නම් කර සිටින අරුණ වරුෂහැන්නදිගේ වෙනුවන් පෙනී සිටි නීතීඥ ගීත් කරුණාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු ඇප මත මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් බවය.

මෙවැනි සිද්ධියකට අදාළව සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එම කරුණු සුවිශේෂී කරුණු සලකා සේවා දායකයා ඇප මත මුද හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය:

“මෙම සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීතියට පටහැනි බවට තර්කයක් මතු කර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා.

“ඒ අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීත්‍යනුකූල බව අධිකරණය තීරණය කරනවා. ඒ වගේ ම මේ සැකකරුවන්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් වාර්තා ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවලින් එම රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීම් ඉදිරිපත් වී නෑ.

“එම නිසා එම වෛද්‍ය වාර්තා සුවිශේෂී කරුණු හැටියට සැලකිල්ලට ගන්න බැහැ.”

ඒ අනුව, මෙම තත්ත්වය යටතේ සැකකරුවන් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

අනතුරුව සැකකරුවන් ජූලි මස 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා ලෙස ද නියම කළේ ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘හරක් කටා’ හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂයේ පුත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුබද්ධ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය බ්‍රහස්පතින්දා (ජූනි 25) අල්ලස් හෝ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කලා..

වී මිලදී ගැනීම ගැන ආණ්ඩුව පරණ බයිලාවම ගහයි

0

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇති බව පැවසේ.
විශේෂයෙන්ම ඇති විය හැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

වී සහ මිලදී ගැනීමේ ප්‍රශ්නය විසදීම සහ සහල් මාෆියාව දන ගැස්සවීමේ කතාවට අදාළව අනුර කුමාර දිසානායකලාට පැවති ප්‍රධාන විසදුමක් වූවේ ගබඩා පහසුකම් වැඩි කිරීමයි. එසේම වී අතිරික්තයක් පවතින බව සහ හාල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බවට එල්ල වූ චෝදනාවලදී ආණ්ඩුව පැවසුවේ වී තොග සම්බන්ධ නිවැරදි දත්ත නැති බවයි. දැන් ආණ්ඩුවට වසර දෙකක් පමණ ගත වී තිබේ. තවමත් ආණ්ඩුවට පැවසීමට ඇත්තේ ආණ්ඩුව ගන්නා මොහොතේ කිවූ දේවල්මයි. අලුතින් කිසිවක් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට නැත.

කම්කරුවාගේ කර පිටින් ආපු ආණ්ඩුවක් කම්කරුවන්ට කරන්න යන දේ 

0

ආණ්ඩුව EPF හා ETF යන පෞද්ගලික අංශ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් දෙක එකාබද්ධ කිරීමේ මුවාවෙන් එම අරමුදල් කම්කරුවන්ට අහිමි කිරීමට අදාළ ක්‍රියාවලියක නිරතවන බව දුමින්ද නාගමුව පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පවසන්නේ,

” අපේ රටේ පෞදගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් දෙක වන EPF සහ ETF අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම සඳහා වන යෝජනාවක් පසුගිය ජුනි 15 වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළා. පිටින් බැලුවම නං පේන්නේ මේ යෝජනාව කම්කරුවන්ට ආදරේට ගෙනාපු යෝජනාවක් වගේ. හැබැයි මේ යෝජනාව ඇතුළේ තියෙන්නේ අපේ රටේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප තවදුරටත් මංකොල්ලකන මෙලෙච්ඡ අරමුණක්. අපි දන්නවා මීට කලින් රාජපක්ෂ ආණ්ඩුවත් උත්සහ කළා මේ විදිහටම සේවක අර්ථසාධක අරමුදල් කප්පාදු කරන්න. ඒ වෙලාවේ මේ රටේ කම්කරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සඨන් කරලා තමයි ආණ්ඩුවේ ඒ තීරණය පැරද්දුවේ. ඒ සටන ඇතුළේ තමයි රොෂේන් චානකලා පවා ඝාතනය වුණේ. දැන් වර්තාමන ජාතික ජන බලවේග ආණ්ඩුවත් තමන්ගේ රතු සන්නාමය පෙන්නලා කම්කරුවන්ගේ ඇස් බැඳලා එදා රාජපක්ෂලාට කරගන්න බැරි වුණ වැඩේ කරන්න යනවා.

දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ EPF සහ ETF අරමුදල් දෙක එකාබද්ධ කරන්න. හැබැයි ඇත්තටම මේ අරමුදල් දෙක ව්‍යුහාත්මකව එකිනෙකට වෙනස් අරමුණු ඇතිව තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නිසා මේ අරමුදල් දෙක ඒකාබද්ධ කිරීමෙන් වෙන්නේ ඒ අරමුදල් පිහිටුවීමේ අරමුණු ඒවගේ සැබෑ ප්‍රතිලාභ සේවකයින්ට අහිමි වෙන එක. අනිත් පැත්තෙන් ආණ්ඩුව යෝජනා කරනවා මේ අරමුදල් දෙක සඳහා ආණ්ඩුවයි, පෞදගලික අංශයේ සේවකයිනුයි හාම්පුත්තුයි ඒකාබද්ධ කරපු විශේෂ ව්‍යුහයකට පවරන්න. අපි අහන්නේ ඇයි ආණ්ඩුවට තකහනියෙම සේවකන්ගේ අරමුදල පාලනය කරන ව්‍යුහයකට හාමුපුත්තුන්ව සම්බන්ධ කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ? පැහැදිලිවම මේ හදන්නේ නරින්ට කුකුල් කොටුව බාර දෙන්න. මේ යෝජනාව සම්මත වුණොත් ධම්මික පෙරේරලාට ඉෂාර නානායක්කාරලාට ඕන ඕන විදිහට මේ අරමුදල කාබාසිනියා කරන්න ඉඩ ලැබෙනවා. ඒක තමයි මේ යෝජනාවේ යටි අරමුණ වෙන්නේ.

අපි දන්නවා EPF සහ ETF අරමුදල් හරහා මෙච්චර කාලයක් රජයට ණය දුන්නා. හැබැයි මේ අරමුදල් පාලනය කරන්න මේ රටේ ධනපතියෝ ටික සම්බන්ධ වුණාට පස්සේ වෙන්නේ ඒ ණය දීම සීමා කරන එක. ඊටපස්සෙ එතන ණය සඳහා ඇතිවන රික්තකය පුරවන්න එනවා මේ රටේ ජාවාරම්කාර මූල්‍ය සමාගම් ටික. අපි දන්නවා රජයට ණය දෙන ප්‍රධාන මූල්‍ය සමාගම් 11ක් තියනවා ඒවා අයිති අර කියන ධනපතියන්ට. ඒ නිසා මේ සූදානම් වෙන්නේ අර්ථසාධක අරමුදල විනාශ වෙන්න ඉඩ හරින ගමන් ඒකේ වාසිය මේ රටේ ධනපතියන්ගේ සාක්කුවට දාගන්න. ඊටපස්සෙ අන්ති පැත්තෙන් මේගොල්ලො උත්සහ කරනවා රජයට ණය දීම නවත්තලා ඒ සල්ලි කොටස් වෙළඳපොළ ඇතුළේ ආයෝජනය කරන්න. අපි දන්නවා මේ අරමුදල් දෙක ඇතුළේ හම්බන්තොට වරාය වගේ වරායවල් 10ක් හදන්න පුලුවන් තරම් වත්කම් ප්‍රමාණයක් තියනවා. මේ මුදල් කොටස් වෙළඳපොළට ගලාගෙන ගියොත් ඒවගේ කොටස් මිල ඉහළ යනවා. ඒකෙනුත් මඩිය තරවෙන්නේ ධනපතියන්ගේ. ඒ නිසා අපි මේ රටේ කම්කරුවන්ට කියනවා මේ කූට උපාය ගැන වහාම අවධානය යොමු කරන්න කියලා.
මොකද දැනටමත් මේ රටේ පෞදගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම අරමුදල් 37.4කින් හැකිලා ඉවරයි. IMF ණය කොන්දේසි අනුව පළමු ප්‍රහාරය දියත් වුණේ EPF සහ ETF අරමුදල්වලට. මේ අරමුදලක සේවකයෙක්ගේ ලක්ෂ 10ක අරමුදලක් තියෙන්න ඕන නම් ඇත්තටම තියෙන්නේ ලක්ෂ 6ක වගේ ප්‍රමාණයක්. තියෙන්න ඕන මුදල රුපියල් 370,000කින් විතර කප්පාදු වෙලා තියන්නේ. හැබැයි ඉස්සරහට මේ අරමුදලට ගෙවන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා අඩු වෙන්න නියමිතයි. ඒ කියන්නේ මේ අරමුදල් තවත් හැකිලීමට ලක් වෙනවා.

මේ රටේ කම්කරු ජනතාවගේ කරපිටින් ආව ආණ්ඩුවක් තමයි අද කම්කරුවන්ට පයින් ගහල මේ විදිහට ධනපතියගේ සාක්කු පුරවන්න යෝජනා අරගෙන එන්නේ. ඒ නිසා දැන් මේ රටේ කම්කරු බලවේගවලට වෘත්තීය සමිති ව්‍යාපාරවලට වගකීමක් තියනවා තමන් හිටගන්නේ කොතනද කියලා පෙන්නන්න. මේ රටේ පෞදගලීක අංශ සේවකයන්ව හූරගෙන කන ධනපතියන්ගේ සාක්කු පුරවන යෝජනාව ආණ්ඩුව වහාම හකුළා ගන්න ඕන. ඒ වගේම තමයි EPF සහ ETF අරමුදල් හැකීලීමට ලක් කරන IMF කොන්දේසිවලින් වහාම ආණ්ඩුව ඉවත් වෙන්න ඕන. එහෙම නොවුනොත් මේ රටේ කම්කරුවන් සියලුදෙනා ඒකරාශි කරගත් අඛණ්ඩ අරගලයකට යන්න අපි සූදානම් වෙලා ඉන්නවා. “

චරිත් සහ රඛිත අත්අඩංගුවට..

0

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අධිකරණ ඇමැති විජයදාසගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.. ඒ කෝටි දොළහක් හරක් කටාගෙන් අල්ලස් ගත්තා යන චෝදනාව මත..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් මෙම අල්ලස් ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ..

මෙම කටයුතු සඳහා 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට චෝදනා එල්ලවී ඇත…

ඒ අනුව මොවුන් දෙදනා සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ද අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ…

නවුෆර් මවුලවිගේ කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් බවට මහාධිකරණය තීන්දු කරයි…

0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත, සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ඔහු ස්වේච්ඡාවෙන්ම ලබා දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (23) මේ නියෝගය ලබා දී ඇත්තේ රාමනාදන් කන්නන්, සුජීව නිශ්ශංක යන මහාධිකරණ විනිසුරුවන්ගේ එකඟත්වය ඇතිවය.

මෙම නියෝගයත් සමඟ පාස්කු දින ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ නඩුව තීරණාත්මක අදියරකට පැමිණ ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

විත්තිකරුගේ පාපෝච්චාරණය මඟින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් හා සැලසුම් කළ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිවේ. පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇති බවට පිළිගැනීමත් සමඟ එහි සඳහන් තැනැත්තන්ට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිවේ.

නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරාට 2019 වසරේ නොවැම්බර් 11දා මෙම ප්‍රකාශය දී ඇත.

එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ වෝයර් ඩයර් සත්‍යතා පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බවට තීන්දු කර තිබේ.

මේ වනවිට නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගේ පාපෝච්චාරණ ස්වේච්ඡාවෙන් දී ඇති බව සනාථව ඇත. 08 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී නොමැති බව අධිකරණය තීරණය කර ඇත. පාපෝච්චාරණ තහවුරුව ඇති විත්තිකරුවන් වන්නේ පළමුවැනි විත්තිකරු වන මුහමුදු ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් අබු සෙයිද් හෙවත් අබු සරීම් හෙවත් නවුෆර් මවුලවි, 11 වැනි විත්තිකරු වන කාලිබ් සමීර්, 4 වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් යන තැනැත්තන්ය. නඩුවේ 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇත්ද යන්න පිළිබඳ නියෝගය ලබන 30දා ප්‍රකාශ කිරීමට නියමිතය.

නඩුවේ 11 වැනි විත්තිකරු කාලිබ් සමීර් 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් ඉදිරියේ කළ පාපෝච්චාරණයද ස්වේච්ඡාවෙන් කළ එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර ඒකමතිකව තීන්දු කර තිබේ. ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් එම පාපෝච්චාරණය සිදු කර ඇති අතර එය රජයේ සාක්ෂියක් ලෙස නඩු විභාගයට ඇතුළත් කිරීමටද අධිකරණය අවසර ලබා දී ඇත. කාලිබ් සමීර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට තර්ක කළද, ඒ පිළිබඳව පැවති වෝයර් ඩයර් පරීක්ෂණයෙන් අනතුරුව විනිසුරු මඬුල්ල එම තර්කය ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම 09 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බව අධිකරණය 2026 මැයි 29 වැනිදා තීන්දු කර තිබේ.

තවද 12 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණය ආරම්භ කිරීමට අවශ්‍ය ලේඛන මේ වනවිට අධිකරණයට සහ විත්ති පාර්ශ්වයට භාර දී ඇති අතර, 25 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම තාවකාලිකව අත්හිටුවා ඇත.

2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි දේවස්ථාන සහ ප්‍රධාන සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපති විසින් මේ නඩුව පවරා ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි, අධිනීතිඥ අකිලා දල්පදාදු නීතිඥ කණ්ඩායමක් නීතිපති නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවති.

කනීල් මද්දුමගේ, ලෝරන්ස් ඇඩම්ස් හාලි, ලක්ෂ්මන් පෙරේරා යන නීතිඥවරු විත්තිය වෙනුවෙන් පෙනී සිටිති.

ඩෙංගු මදුරුවන්ගේ යටත් විජිතයක් බවට ලංකාව පත්වෙයි

0

ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, මේ වන විට මරණ 29ක් සහ රෝගීන් 48,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 14ක් ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස මේවන විට හඳුනාගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ, වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් තත්ත්වයන් වෙනස් කිරීමට විශාල උත්සාහයක් ගන්නවා….

ජන සමාජයක් ලෙස තත්ත්වය පාලනය කිරීමට නම් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි අපේ අවට වටපිටාව සම්පූර්ණම පිරිසිදු කර ගැනීම තමයි අපි කාගේත් යුතුකම..