Home Blog Page 35

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඉල්ලා අස්වීමට සැරසෙයි

0

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව හනීෆ් යූසුෆ් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව පවසා ඇත්තේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

තමා ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනටමත් දැනුම් දී ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි. මෙම තීරණයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ආණ්ඩුකාර ධුරයේ වගකීම්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ධුරයේ රාජකාරි සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී තිබීමයි.

කෙසේ වුවද, පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරයකු පත් කරන තෙක් තමා එම ධුරයේ රැඳී සිටින බව හනීෆ් යූසුෆ් මහතා සඳහන් කරයි.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුවද, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ස්වේච්ඡාවෙන් තවදුරටත් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. රටේ ප්‍රගතිය උදෙසා සේවය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහු ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කර ඇත.

ටින් අංකය (TIN) නොගැනීම සහ බදු ගොනු ඉදිරිපත් නොකිරීම අපරාධමය වරදක්

0

දේශීය ආදායම් පනතට අදාළ නව සංශෝධන කිහිපයක් එළඹෙන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම නව සංශෝධන මගින් බදු ගෙවීම පැහැර හරින සහ බදු නීති උල්ලංඝනය කරන පිරිස් සඳහා දැඩි දඬුවම් හා දඩ මුදල් පැනවීමට යෝජනා කර ඇත.

නව සංශෝධනවලට අනුව වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබා ගැනීම අනිවාර්ය වේ. පහත සඳහන් කරුණු මින් ඉදිරියට අපරාධමය වරදක් ලෙස සැලකීමට යෝජිතය:

ටින් අංකය ලබා නොගැනීම.

නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම.

මෙම වරදවල් යටතේ වරදකරුවන් වන පුද්ගලයින්ට රුපියල් ලක්ෂ හතරක (400,000) දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් (නැතහොත් එම දඬුවම් දෙකම) ලබා දීමට හැකි වන පරිදි පනත සංශෝධනය කිරීමට නියමිතය.

මල්වානේ නිවසින් අන්තරේ ඉවත් වෙයි

0

මල්වාන ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වීමත් සමඟ, එම පරිශ්‍රයෙන් තම සාමාජිකයන් ඉවත් කර ගැනීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) තීරණය කර තිබේ.

අද (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරිය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා සඳහන් කළේ, දැනට දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මෙම දේපළ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පැවරීමට රජය එකඟ වූ බවයි. ඒ අනුව, එම පරිශ්‍රයේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විශ්වවිද්‍යාල තුළ පවතින ඉඩකඩ හිඟයට පිළියමක් ලෙස, හිමිකරුවන් නොමැති බවට අධිකරණය තීන්දු කළ මෙවැනි රාජසන්තක දේපළ අධ්‍යාපන අවශ්‍යතා සඳහා යොදාගන්නා ලෙස රජයට බල කරමින් පසුගිය 14 වැනිදා සිට ශිෂ්‍ය බලමණ්ඩලය මෙම නිවසට ඇතුළු වී විරෝධතාවක නිරත විය.

විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති උද්ඝෝෂණ නඩුවේ සාක්ෂි විභාගය ජූලි 13 දක්වා කල් යයි!

0

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණ නොසිටි බැවින් සාක්ෂි විභාගය ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

2016 පෙබරවාරි මස 06 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ඊට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදුකළ බවට කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබේ.

මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ

  • විමල් වීරවංශ
  • ජයන්ත සමරවීර
  • වීරකුමාර දිසානායක
  • පියසිරි විජේනායක
  • රොජර් සෙනෙවිරත්න
  • මොහොමඩ් මුසම්මිල්

යන මහත්වරුන්ට එරෙහිවය.

STF මෙහෙයුමකින් නීති විරෝධී දුම්වැටි ජාවාරමක් කොටු කරගනී

0

රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මොරටුව විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. එහිදී මෙරට නීතියට පටහැනිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,400ක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ. මොරටුව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙරට හජ් උත්සවය මැයි 28 වනදා!

0

මෙරට ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබන හජ් උත්සවය එළඹෙන මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන ‘දුල් හජ්’ මාසය සඳහා වන නව සඳ අද දින ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කර ඇත.

ඒ අනුව, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය හෙට (මැයි 19) ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.

දශක තුනක යුද ශාපය නිමා කළ විජයග්‍රහණයට 17 වසරක්

0

ශ්‍රී ලංකාව වෙළාගෙන තිබූ දශක තුනක දරුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර අදට (18) වසර 17ක් සපිරෙයි.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙරට පැවති දීර්ඝකාලීන යුද්ධය නිල වශයෙන් අවසන් විය.

1975 වසරේ ජූලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් ඇරඹි මෙම බෙදුම්වාදී ත්‍රස්තවාදය, දශක තුනක් පුරා මෙරටට සිදුකළ විනාශය අතිමහත්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටුනායක ගුවන්තොටුපළ වැනි ස්ථාන ඉලක්ක කර ගනිමින් රටේ ආර්ථිකය අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කළහ.

ජය ශ්‍රී මහ බෝධිය සහ ශ්‍රී දළදා මාළිගාව වැනි උතුම් පූජනීය ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සිය මිලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කළේය.

නැගෙනහිර ගොවි ජනතාවට ජලය අහිමි කරමින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීම ත්‍රස්තවාදීන්ගේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ තීරණාත්මක සිදුවීමක් විය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා රණවිරුවන් සේනාංක 8ක් ඔස්සේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළහ.

එහිදී ත්‍රස්තවාදීන් අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන සටන් කළ ද, ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එම ජනතාව මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

සියලු බාධක මැද 2009 මැයි 18 වනදා ලබාගත් එම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

මෙම විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” හෙට (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ, මෙවර උත්සවයේ විශේෂත්වයක් ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද ප්‍රථම වතාවට මෙම නිල සැමරුමට එක්වන බවයි.

දෙරණ රැකගත් දේශපාලන නායකත්වයේ සිට පෙරමුණේ සටන් වැදුණු රණවිරුවන් දක්වා වූ සියලු දෙනාගේ කැපවීම හා වීරත්වය අද වැනි දිනක සමස්ත ජාතියේම ගෞරවයට පාත්‍ර වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි!

0

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය නිවේදනය කළේ, ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ පද්ධතිය (e-DAS) තුළ හදිසි තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් සියලු ලේඛන සහතික කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවයි.

මෙම අත්හිටුවීම බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු ප්‍රධාන කාර්යාලයට මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන්ටද බලපායි.

අමාත්‍යාංශය සඳහන් කළේ, e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ එක්ව කඩිනම් පියවර ගෙන ඇති බවයි. සාමාන්‍ය සේවාවන් හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවද දැනුම් දී ඇත.

දැනටමත් අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කරගෙන ඇති අය, e-Channeling පද්ධතිය හරහා නිකුත් කෙරෙන නව දැනුම්දීම් සහ යාවත්කාලීන තොරතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.

පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම බලපෑමට ලක්වූ අයදුම්කරුවන් දැනුවත් කරන බවත්, මහජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බවත් කොන්සියුලර් කටයුතු අංශය ප්‍රකාශ කළේය.