Friday, May 22, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර ලන්ඩනයේදී විශේෂ හමුවක්

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන යමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ෂර්ලි අයෝකෝ බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය අතර සුවිශේෂී හමුවක් මැයි 21 වැනිදා එක්සත් රාජධානියේදී සාර්ථකව නිමාවට පත් විය.

ලන්ඩන් නුවර ඓතිහාසික මාල්බරෝ මන්දිරයේදී (Marlborough House) මෙම හමුව පැවැත්වුණේ, 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන සැසියට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය සිදුකරන නිල සංචාරයට සමගාමීවයි.

ගෝලීය වශයෙන් වැදගත් වන කාලීන මාතෘකා කිහිපයක්ම මෙහිදී දැඩි අවධානයට ලක් විය. ඒ අතර;

  • දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ ඒ සඳහා අවශ්‍ය දේශගුණික මූල්‍යකරණය
  • දේශපාලනය තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය ඉහළ නැංවීම
  • ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම
  • සාමාජික රටවල් බලගැන්වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මැදිහත්වීම ප්‍රධාන තැනක් ගත්තේය.

පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළ අගමැතිනිය, ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මහලේකම්වරිය ලබාදෙන නායකත්වය ද විශේෂයෙන් අගය කළාය.

එමෙන්ම, රටේ තිරසාර සංවර්ධනය, ආර්ථික-සමාජීය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ සියලු දෙනා ඇතුළත් කරගත් යහපාලනයක් (Inclusive governance) සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ඇය එහිදී පැහැදිලි කළාය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහලේකම්වරිය අවධාරණය කළේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහාය, මානව සම්පත් සංවර්ධනය, දේශගුණික මූල්‍යකරණ පහසුකම් සහ මැතිවරණ පාලන කටයුතු යනාදී අංශයන්ගෙන් නොකඩවා සහාය ලබා දීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සූදානම් බවයි.

වත්මන් ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාමාජික රාජ්‍යයන් එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය ඵලදායී අදහස් හුවමාරුවක නිරත විය.

මෙම වැදගත් රාජ්‍යතාන්ත්‍රික හමුව සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.

Popular Articles