තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සංචාරය අතරතුර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් (MoUs) කිහිපයකට ද දෙරට අත්සන් තැබීමට නියමිත බවයි. නිල සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිතව තිබේ.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. ඒ අනුව මැයි 06 වනදා දක්වා කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථානුකූලව රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
ලබන 06 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් ද හමුවීමට නියමිතය.




