බීමත් බික්ෂුවකට පහරදෙන විඩියෝවක් දැනට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුල සංසරණය විය. එසේ පහරදෙන අයට අනුව, පහරදීමට හේතුව වී ඇත්තේ අදාළ බික්ෂුව ස්ත්‍රීන් සමග ලිංගික සබඳතා පැවැත්වීම සහ ඔහු බේබද්දෙකු වීමයි. පහරදීමෙන් අනතුරුව පොලීසියට භාරදෙන බව ඔවුන් පවසනු පෙනේ.
“ජන බලය” යනු ද හරිම අපූරු සංවිධානයකි. ඔවුන්ට අනුව දැන් බෞද්ධාගම, ශාසනය, ආදිය රැක ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු වේ. “ජන බලයට” අනුව පවතින්නේ පන්සල් නොව බූදල්ය. එබැවින්, ඔවුන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ බූදල් ක්‍රමය නැති කර දැමීම බව පවසයි.
“විහාර දේවල ගම් පනත” ශාසනය විනාශ කිරීම සඳහා ඉංග්‍රීසිකාරයින් දී ඇති ලණුවක් බවත්, ඒ නිසා එය කඩා දැමීම පහසු නොවන බවත්, ශාසන ලොක්කොන්ට ළමයි සිටින බවත්, ඒ ළමයි දේපොළ වලට නඩු කියන බවත් ඔවුන් පවසයි.
“ජන බලය” එහිදී පවසන ප්‍රධාන කාරණය වන්නේ ශාසනය බේරා ගැනීම සඳහා පවතින ආණ්ඩුව මැදිහත්ව නීති සම්පාදනය කල යුතු බවත්, “විහාර දේවල ගම් පනත” සංශෝධනය කිරීමෙන් පන්සල ශුද්ධ වූ ස්ථානයක් බවට පත්කළ හැකි බවත්ය.
ඒ අනුව “ජන බලය” වෙතින් විමසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් මෙම සටහනෙහි මුලින්ම සඳහන් කල හාමුදුරුවන්ට පහර දුන් සිද්ධියේ කිහිප දෙනා සහ “ජන බලය” අතර වෙනස කුමක්ද යන්නයි.
පහර දුන් අයට අනුව බික්ෂුවක් ස්ත්‍රීන් සමග ලිංගික සබඳතා පැවැත්වීම සහ සුරා පානය යනු දඬුවම් දියහැකි නීතිමය වැරදි වේ. නමුත් එය කිසි ලෙසකින් එසේ නොවේ (එවැනි ප්‍රශ්න විසඳීම සඳහා ආගමික ව්‍යුහය තුල වෙනම ක්‍රමවේදයක් තිබේ. අධිකරණ සංගනායක බික්ෂූන් යනු ඊට අදාළ ලොක්කන්ය).
“ජන බලය” ඍජුවම පවසනුයේ ආගම රැකගැනීම, ශාසනය රැකගැනීම සඳහා නීති සම්පාදනය කල යුතු බවය. එනම්, කුහක ගිහියන් හට පස් පවෙන් වලකින හැටි කියාදෙන ඝන ගෙඩි ප්‍රජාව විනයානුකූල කිරීමේ වගකීම රාජ්‍ය සතු බවත්, ඒ සඳහා නීති තිබිය යුතු බවත්, මෙතෙක් පැවැති ආණ්ඩු විසින් නොකළ දේ වත්මන් ආණ්ඩුව විසින් කල යුතු බවත්ය.
“ජන බලයේ” උත්සාහය වන්නේ සිංහල බෞද්ධ පුරවැසියන් පන්සල් යවා පස් පවෙන් වලකින ආකාරය පිළිබඳව විනයානුකූල බික්ෂූන්ගෙන් ධර්ම දේශනා ඇස්සවීමයි (ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය). ඉන් පසු එම “පෘතග්ජන” ගිහියන්ගේ ළමුන් නොබියව දහම් පාසල් යවා, ප්‍රජාතන්ත්‍රවාදය තුල යහපත් පුරවැසියන් බවට පත් කල හැකි බව “ජන බලයේ” විශ්වාසය බව පෙනේ.
“ජන බලයේ” ස්ථාවරය තුලින් හෙළිදරව් වන්නේ “ආගම”, “නීතිය” සහ ‘මහා අනෙකා’ (the big Other) අතර පවතින දෘෂ්ටිවාදී සම්බන්ධයයි.
“ජන බලය” වැනි සංවිධාන උත්සාහ කරන්නේ ආගමික ව්‍යුහයට අදාළ ‘මහා අනෙකාගේ’ භූමිකාව ආගමික ව්‍යුහයෙන් ඉවත් කර එය “රජය” හෝ “නීතිය” වෙත පැවරීමටය (බීමත් හාමුදුරුවන්ට පහර දෙන මිනිසුන් සිතනුයේ දැනටමත් එය එසේ බවයි).
සාම්ප්‍රදායිකව භික්ෂුවකගේ විනය පාලනය වූයේ ආගමික ‘සංකේත පර්යාය’ තුළයි. නමුත් දැන් ගිහියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වී හාමුදුරුවරුන්ව විනයානුකූල කළ යුතු බවයි. මෙහිදී සිදුවන්නේ “ශුද්ධ වූ” දේ සහ “ලෞකික” දේ අතර ඇති සීමාව මකා දැමීමකි. ඔවුන් රජය නමැති ‘මහා අනෙකාගෙන්’ ඉල්ලා සිටින්නේ ආගමික ‘ස්වාමි හැඟවුම්කාරකය’ (master signifier) වන “භික්ෂුව” නමැති සංකල්පය නීතිය මගින් සහතික කරන ලෙසයි.
ෆොයාබාක් පිළිබඳව හතරවන තිසීසයේ මෙසේ සඳහන්ය:
“…උදාහරණයක් ලෙස මෙසේ වරක්වත් ශුද්ධවූ පවුලේ රහස සැබවට පවතින පවුල (ලෞකික පවුල) වන බව සොයා ගැනී ඇති විට ලෞකික පවුල එය විසින්ම විවේචක විය යුත්තේ න්‍යාය තුල සහ විප්ලවීය විය යුත්තේ ව්‍යවහාරය තුලය…”
එනම්, ක්‍රිස්තියානියේ ඇති “ශුද්ධ වූ පවුල” සැබෑවට නොපවතින බවත්, ශුද්ධ වූ පවුල නම් ආගමික පරිකල්පනය ගොඩනැගෙන්නේ සැබෑවට පවතින අශුද්ධ පවුල තුලින් බවත්ය. තවත් අකාරයකින් පවසන්නේ නම් සැබෑවට පවතින අශුද්ධ පවුල නොමැති නම් ශුද්ධ වූ පවුල ද නොමැත.
ආගම විසින් ව්‍යාජ ලෙස අපේක්ෂා කරන ශුද්ධ වූ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය තුල ලොව කොතනකවත් සැබෑවට නොමැත. නීති, පොලීසි, හමුදා, අධිකරණ වැනි ව්‍යවස්ථාමය ව්‍යුහයක් අවශ්‍ය වන්නේ එබැවිනි. දැන් “ජන බලයට” අවශ්‍යව ඇත්තේ බෞද්ධ ශාසනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයේ යටතට පත්කිරීමටය.
ගිහියන් “පිරිසිදු ශාසනයක්” ඉල්ලා සිටින්නේ ඇයි?
ගිහියන්ට පස් පවෙන් වැළකී සිටීමට අවශ්‍ය නැත; ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් වෙනුවෙන් පස් පවෙන් වැළකී සිටින ‘අනෙකෙකු’ (the Other) පමණක් නොව ඊටත් එහා ගිය තත්වයක පසුවන සුවිශේෂී චරිතයක් පන්සලේ සිටිනවා දැකීමටය.
හාමුදුරුවෝ බොන්නේ නැතිව, ගෑනු තියාගන්නේ නැතිව ඉන්නවා නම්, ගිහියාට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී “පව්කාර ජීවිතය” ගැන ඇති වන බිය (anxiety) සමනය කරගත හැකිය (vicarious jouissance). හාමුදුරුවෝ බොන විට බිඳ වැටෙන්නේ ගිහියාගේ ඒ සැනසිලිදායක ‘ෆැන්ටසියයි’. පහර දීම යනු එම බිඳුණු ‘ෆැන්ටසිය’ වෙනුවෙන් කරන ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවකි.
ජන බලය පවසන පරිදි, පන්සල් “බූදල්” වී ඇති බවත්, හාමුදුරුවන්ට ළමයි සිටින බවත් පැවසීම ශාසනයේ ‘අශ්ලීල යටිපැත්ත’ (obscene underside) හෙළිදරව් කිරීමකි. ‘සංකේත පර්යාය’ පවතින්නේ මෙවැනි අශ්ලීල රහස් වසා ගනිමිනි. තත්වය එසේ තිබියදී “ජන බලය” උත්සාහ කරන්නේ රජයේ නීතිය මගින් පන්සල “ශුද්ධ” කිරීමටය. නමුත් අපට අනුව, ඕනෑම “ශුද්ධ” ආයතනයක් පිටුපස මෙවැනි ‘අශ්ලීල යටිපැත්තක්’ අනිවාර්යයෙන්ම නඩත්තු වේ. නීති සම්පාදනය කිරීමෙන් කරන්නේ එම අශ්ලීලත්වය නැති කිරීම නොව, එය වඩාත් සංකීර්ණ ලෙස වසා දැමීමයි.
හාමුදුරුවන්ට පහර දෙන මිනිසුන් තුළ ඇත්තේ හුදු “ආගම් භක්තියක්” නොවේ. එහි ඇත්තේ ‘අශ්ලීල ප්‍රමෝදයකි’. තමන්ට වඩා “උසස්” යැයි සම්මත පුද්ගලයෙකු (හාමුදුරුවෝ) පහත් තත්වයට ඇද වැටුණු විට, ඔහුට පහර දීම හරහා ගිහියා තමන්ගේම අභ්‍යන්තරයේ පවතින ආතතිය පිට කර ගනී. ඒ අතරම, තමන් කොතරම් ජඩයින් වුව ද රට, ජාතිය, ආගම, වෙනුවෙන් සටන් වදින්නන් ලෙස ‘මහා අනෙකා’ ඉදිරියේ පෙනී සිටිය හැකිය (විඩියෝ කර දමන්නේ එබැවිනි).
නීතිය අතට ගැනීම හෝ රජයේ නීතිය ඉල්ලා සිටීම යනු මහා අනෙකාගේ නාමයෙන් තමන්ගේ පරපීඩක කාමය තෘප්තිමත් කර ගැනීමකි.
ඉතින් “ජන බලය” ඉන් වෙනස් ද?




