” අයන්න කියන්න ලොවටම ඇහෙන්න ” යැයි ආරාධනා කලේ ඇගේ හඬයි… හඳහාමී ගීත ගොන්නෙන් අපේ කුඩා කාලය සුන්දර ලෝකයකට කැඳවාගෙන ගියේ ඇගේ හඬයි.. ” පවන” තරුණ ආවේගය විමුක්තිකාමීන් බවට පත් කරන්නට උදව් දුන් අය අතර එහි රණ හඬ බවට පත්වූයේ ඇගේ කටහඬයි.. කඩ මණ්ඩියේ සිටි නුඹ දිහා නැවතී බලා, කතා නැතිව යන්නටත්, ප්‍රේමය සඳ එලිය සේ අචින්ත්‍යයි කියන්නටත් අපව හුරු කලේ ඇගේ කටහඬයි….
එය එසේ ගත් කල සමස්ත ජන සමාජයටම ලොකු කුඩා බේදයකින් තොරව ගීත ගැයුවේ ඇයයි.. ඉතින් ඈ කිසිවෙකුටත් අයිති කරගත හැකි බූදලයක් නොවේ…

ඈ මියගිය පුවත මා දැනගන්නේ ෆේස් බුක් පෝස්ටුවකිනි.. එහි කමෙන්ට් අතර මා දුටුවේ අදහාගත නොහැකි ගැරහීම් ය. සමාජය මේ තරමටම වල් වැදිය යුතුද? ඉනික්බිති ඇයව අයිති කරගෙන උදම් ඇනූවන්ද, ඇයට ගරහමින් සිටිය උන්ද මුණගැසිනි.. මට ජැකා නොහොත් ජැක්සන් ඇන්තනිත්, නිළි රැජිණ මාලිනියත් මතක් විනි. පින් මාලු වලේ කුසල් හාමිත් මියගිය පසු සද්ගුණවත් උපාසක විය. කලාකරුවන් මිය ගිය පසු ඔවුන්ගේ දේශපාලන මතය අනුව මෙසේ වර්ග කරන්නට තරම් සමාජය අශීලාචාර වූයේ කෙසේද?
කලාකරුවන් දේශපාලනය කරන්නට එනවාදැ’ යි නැද්දැ’යි තීරණය කරන්නට අපට අයිතියක් නැත. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. ඕනෑම පක්ශ වේදිකාවක කලාකරුවන් සිටීමද සාමාන්‍ය ය. සමහර අවස්ථා වලදී පක්ශ තුලින් ඔවුන්ව පාවිච්චි කරනවාද දැක ඇත. ඒ තුලින් තමන්ගේ චන්දය ලබා දෙන්නේ කාටදැ’යි තීරණය කරන්නේ නම් ඒ අයිතියද මහජනයාට ඇත. එහෙත් දේශපාලනයට මුහු වූ පමණින් කලාකරුවා තුලින් බිහිවූ නිර්මාණ දේශපාලනීකරණය විය යුතු නැත. නන්දාට බනින , අතිශයෝක්තියෙන් වර්ණනා කරන , දේශපාලන ගොට්ටන් අතර සිටින්නේද රහසේ ඇගේ ගීතයක් අසා ප්‍රේමයේ සුන්දරත්වයත් විරහවත් දරාගත්තවුන් ය. එය එසේ වූ පමණින් ඇගේ නිර්මාණ වල අගය නැති වන්නේ නැත. එහෙත් සිදුවන්නේ දේශපාලන කුහකත්වය තුලින් ඇගේ නිර්මාණ මරා දමන්නට කටයුතු කරනවා පමණකි. මේ තත්ත්වය මමද පෞද්ගලිකව අත්වින්දෙමි. අත්විඳිමි.
මගේ නිර්මාණ ෆේස්බුක් පිටුවට එක් කරද්දී ඒ සඳහා අගය කිරීම් සුබ පැතීම් ගලාගෙන ආ යුගයක් විය. එහෙත් මා දේශපාලන කටයුතු වල නිරත වෙද්දී බොහෝ සුබ පතන්නන් සැඟවී යන්නට විය. ඉනික්බිති මගේ නිර්මාණ සැබැවින්ම රස විඳින්නන් පමණක් මට ඉතිරි විය. එයද හොර රහසේය. මහා වෘක්ෂ වැනි කලාකරුවන්ටත් ඒ ඉරණමම අත්වේ නම් මා වැනි අංකුරයකට ගල් ගැසුවද පුදුම නැත. එලෙසින්ම කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය, නිර්මාණ හා ඈඳා නොගන්නට තරම් පරිණතකමක් ජන සමාජය තුල තියේ නම් ආරියරත්න නන්දා එකමුතුවට ඈ ජීවත්ව සිටියදී ටීකා ටිප්පනි ගොතන්නටත් මියගිය ඇගේ කම්මුල් සිඹින ආරියරත්න ගැන කවි කතා ගොතන්නටත් හදිසි නොවනු ඇත. අද ඇත්තේ සියල්ල දේශපාලනීකරණය වූ ලෝකයකි. මානුශීය ගනුදෙනු සිතුම් පැතුම් වලට ඉඩක් නැති තරම් ය. ඊට මේ දක්වා සිටි හා සිටින දේශපාලකයන් වගකිව යුතුය. නන්දා මාලනිය තම දේහය නිවසේම තැන්පත් කරන්නට යැයි ඉල්ලා සිටියේ ඇයිදැ’යි අප දන්නේ නැත. එහෙත් ඇගේ එම තීරණය ඇගේ දෙන උස්සාගෙන විකුණන්නට බලා සිටි කාක්කන්ට අවාසිදායක විය. සමහර විටෙක ඇයට ඒ බව ඉව වැටුනා වෙන්නටත් පුලුවන. කෙසේවෙතත් කලාකරුවෙකු මියගිය පසු සොහොන් කොතේ අත් අකුරින් ලියන්නට ඉඩ තිබිය යුත්තේ, නන්නාදුනන ප්‍රේක්ෂකයාට පමණි. මන්ද , ඒ අත් අකුරින් ලියැවෙන්නේ කලාකරුවාගේ නිර්මාණ රසවිඳි ඔවුන්ගේ නිර්ව්‍යාජ හැඟීම් මිස කලාකරුවා විකුණාගෙන කෑ ඩීල්කරුවන්ගේ ගනුදෙනු නම් නොවේ. ඉතින් ආදරණීය නන්දා මාලිනියනි, ඔබතුමියට සුබ
ගමන්!!!

✍️චතුරි සප්තලා සමරතුංග



