ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. රුපියලේ අගය මෙලෙස පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ උද්ධමනය ඉහළ යාමේ දැඩි අවදානමක් මතු වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව විසින් ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් ආනයනය කරනු ලබන්නේ ඩොලර් මගිනි. රුපියල අවප්‍රමාණය වීමත් සමඟ දේශීය වෙළඳපොළ තුළ එම භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ඉන්ධන මිල ඉහළ යාම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි හා ජල බිල්පත් සහ පොදු සේවාවන්වල මිල ඉහළ යාමට හේතු වන බැවින්, සාමාන්‍ය ජනතාවගේ මාසික වියදම දැවැන්ත ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වා ගැනීමේදී පෙරට වඩා අධික රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මහා බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි, ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යාම වාසිදායක ලෙස පෙනුනද, නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ලාභාංශ සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින තරගකාරිත්වය බරපතළ අභියෝගයකට ලක්වීමේ අවදානමක් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ, ඩොලරයේ අගය ඉහළ යාම යනු වෙළඳපොළ තුළ පවතින ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතිවූ ක්ෂණික තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත්, උද්ධමනය පාලනය කරමින් සහ රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරමින් ඉදිරි පියවර ගැනීම රජයට ඇති ප්‍රධාන වගකීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.



