ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙතෙක් කල් ලබාගත් මූල්‍ය ආධාර ලබාගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා නිවේදනය කරයි. තම රටේ ආර්ථිකය මේ වන විට ස්වාධීනව නැගී සිටීමට තරම් ප්‍රබල මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.
ඇමරිකාවෙන් ලැබෙන මෙම මූල්‍ය ආධාර ‘සුභසාධන දීමනාවක්’ (Welfare) වැනි යැයි පවසමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ට තවදුරටත් එවැනි ආධාර අවශ්‍ය නොවන බවයි. “අපගේ ආර්ථිකය දැන් කුඩා ආර්ථිකයක් නෙවෙයි. ඇමරිකාවෙන් අපට ලැබෙන්නේ අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි. එය නොමැතිව වුවද අපේ රටේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට අපට හැකියාව තිබෙනවා. එම නිසා මෙම ආධාර නතර කිරීමේ ක්‍රියාවලිය මෙම වසරේ සිටම ආරම්භ කිරීමට මට අවශ්‍යයි,” යැයිද නෙතන්යාහු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
රටේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ස්ථිරවම කියා සිටියේ, ඊශ්‍රායලය විසින් කිසිදු ලෙසකින් පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොදෙන බවයි. ඒ වෙනුවට කලාපය තුළ අතිශය සක්‍රීය ආරක්ෂක ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇත.
පවත්නා කලාපීය නොසන්සුන්තාව සම්බන්ධයෙන් අසල්වැසි රටවලට දැඩි අනතුරු ඇඟවීම් සිදුකළ අග්‍රාමාත්‍යවරයා, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව තෙවන වරටත් ප්‍රහාර (Third Strikes) එල්ල කිරීමට ඊශ්‍රායලය පසුබට නොවන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන තර්ජන සම්පූර්ණයෙන්ම තුරන් වන තෙක් ඊශ්‍රායල සන්නද්ධ බලකායන් ලෙබනන දේශසීමාවල දිගටම රැඳී සිටින බවද ඔහු අවධාරණය කර සිටියි.




