අධික වර්ෂාපතනයක් පවතින අවස්ථාවලදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගයන් ජලයෙන් යටවීමේ ගැටලුවට ස්ථිර විසඳුම් සෙවීම සඳහා, ගුවන්තොටුපළ අවට පිහිටි ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව ඉහළ නැංවීමේ විශේෂ ව්‍යාපෘතියක් ඊයේ (04) දින නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම කඩිනම් පියවර ගෙන ඇත්තේ පසුගිය මැයි මස 28 වෙනිදා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී එළඹි තීරණයකට අනුවය.
මෙම මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් ලෙස සහ සම්බන්ධීකරණයෙන් යුතුව ඉදිරියට කරගෙන යාම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ කාර්යසාධක බලකායක් (Task Force) ද පත් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම හදිසි වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන මෙහෙයුම් 3ක් සිදුකිරීමට නියමිතය,
- ඇළමාර්ගවල පවතින සියලුම අපද්‍රව්‍ය සහ ගලායාමට බාධා පවතින ස්ථාන පිරිසිදු කිරීම.
- වැඩි වැසි ජල ප්‍රමාණයක් රඳවාගත හැකි පරිදි ඇළමාර්ග ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම.
- ගංවතුර තත්ත්වයක් ඇති නොවන සේ වැසි ජලය කඩිනමින් ගලායාමට සලස්වා දීම.
මෙම කෙටිකාලීන ආරක්ෂණ ක්‍රියාමාර්ග මඟින් ගුවන්තොටුපළ වෙත පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් මෙන්ම මහජනතාව මුහුණ දෙන අපහසුතා මඟහැරෙනු ඇත.
එමෙන්ම, අධික වර්ෂාපතනයක් පවතින අවස්ථාවලදී කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල වෙසෙන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද මින් ඉදිරියට සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
මෙම ගැටලුවට ක්ෂණික සහ කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කරන අතරම, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සඳහා ස්ථිර මෙන්ම තිරසාර දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් ඉදිරියටම රැගෙන යාමට නියමිතය.




