spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ගීත සාහිත්‍යය විසාලාවට යන ගමනක් වේද??

ගීතයක් නිමැවීම වූ කලී මෙලොවට දරුවෙක් බිහි වීම හා සමානය. දරුවාගේ අයිතිය ඇත්තේ දෙමව්පියන්ටය. එහෙත් ගීතයට අයිතිකරුවන් බොහෝය. ගීතයක අයිතිය නිර්මාණාත්මක අයිතිය මෙන්ම නීතිමය හා ආර්තික අයිතිය ලෙස වර්ග කිරීමට හැකිය. එහිදී ගීතයක පද රචකයාට ගීතයේ පද මාලාවේ අයිතියද, තනු නිර්මාණකරුවා හෝ සංගීතඥයාට ගීතයේ තනුව සහ සංගීත සංයෝජනයේ අයිතියද,
ගායකයා , ගායිකාවට ගීතයේ ගායනාමය ඉදිරිපත් කිරීමේ අයිතියද ලැබේ. ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්ගේ සහ ශිල්පීන්ගේ අයිතිවාසිකම් සුරැකීම, සහ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධාන සංගම් කිහිපයක් තිබේ.
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය යනු එසේ පිහිටුවා ඇති ප්‍රධානතම සංවිධානයයි. ගීත ගායනා කිරීම වෙනුවෙන් ගායක ගායිකාවන්ට හිමිවිය යුතු කතෘභාග (Royalty) සහ ප්‍රසාංගික අයිතිවාසිකම් (Performance Rights) ලබාදීමට මැදිහත් වීම, ගීතවල හිමිකාරිත්වය සුරැකීම, අවසරයකින් තොරව ගීත නැවත ගායනා කිරීම (Cover Songs), විකෘති කිරීම හෝ වාණිජමය වශයෙන් භාවිත කිරීම පාලනය කිරීම ආදී කටයුතු වලදී නීතිමය සහය ලබාදීම මෙන්ම
ජ්‍යෙෂ්ඨ සහ අසනීපයෙන් පසුවන ගායක ගායිකාවන් උදෙසා වෛද්‍ය සහනාධාර, රක්ෂණ ක්‍රම සහ සුබසාධන අරමුදල් පවත්වාගෙන යාම ඒ මගින් සිදුකරයි. ක්ෂේත්‍රයේ නවකයන්ට සහ ජ්‍යෙෂ්ඨයන්ට සාධාරණ ප්‍රසංග අවස්ථා උදාකර දීමද ඔවුන් සිදු කරන තවත් කටයුත්ත කි. මීට අමතරව “ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය” (National Intellectual Property Office – NIPO) රජයේ පාර්ශවයෙන් නියාමන කටයුතු කරනු ලබයි. මෙය සංගමයක් නොවන අතර, ලංකාවේ ගීතවල ප්‍රකාශන අයිතිය (Copyright) සහ බුද්ධිමය දේපළ පනත නීතිමය වශයෙන් බලාත්මක කරන රජයේ නිල ආයතනයයි. මීට අමතරව තවත් සංගම් කීපයක්ම විවිධ පුද්ගලයන් ඒකරාශි වී පවත්වාගෙන යයි. එය එසේ වද්දී,
විවිධාකාර වූ සංගම් හා පුද්ගලයින් විසින් ගීතය නැමැති දරුවා බෙදාගන්නට වැල් පාලමක් දිගේ තරඟයට දිවයන සංදර්ශන දැන් දැන් මාධ්‍ය ඔස්සේ කරලියට පැමිණෙමින් ඇත. එය සැබැවින්ම ප්‍රේක්ශකයා තුල ඇති කරන්නේ සොඳුරු හැඟීමක් නම් නොවේ. වචන ගොනුවක් පද වැලක් වූ පමණින් එය ගීතයක් වන්නේ නැත. එය කීපදෙනෙකුගේ මහන්සියක හා නිපුණතාවයක ප්‍රතිඵලයකි. වර්තමානය වන විට ගීතය ප්‍රේක්ශකයා වෙත ගෙන යන්නට විවිධ මාධ්‍ය යොදා ගන්නා අතර ගීතය ප්‍රේක්ෂකයා වැළඳගන්නා තරම අනුව එය හුදෙක් රසවින්දනය සඳහා පමණක් නොව මුදල් ගලා එන මාර්ගයක් බවටද පත්වේ. ගැටලුව හටගන්නේ එහිදීය. ජීවන අරගලයේදී මුදල් යන්න ප්‍රධාන සාධකයක් වන තත්වයක බොහෝදෙනෙක් තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් අයිතියක් ඉල්ලා සිටීම කිසිවිටෙකත් අසාධාරණ නොවේ. ගැටලුව වන්නේ එය බෙදී යාමේ නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට මේ දක්වා කිසිවෙකුත්
සමත් වී නොතිබීමයි. ගීතයට මෙවන්වූ වටිනාකමක් ලැබේයැයි ප්‍රේමකීර්ති මහතා බස් ටිකට්ටුවක අකුරු අමුණද්දී කිසිවිටෙකත් නොසිතන්නට ඇත. එය එසේ වූවා නම් පූර්ණ අල්විස්ටද යම්කිසි මුදලක් අදටත් හිමිවන බව නිසැකය. එය එසේ වූවා නම් සමහරක් පද රචකයන් තනු නිර්මාපකයන් කුලී ගෙවල්වල අසරණ වන්නේද නැත. කෙසේ වෙතත් මේ ගැටලුව පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වියයුතු කාලය එළඹ ඇත. එසේ නොමැති වුවහොත් යායුතු මග , නොමග ගොස් එකිනෙකා කා කොටා ගන්නා විසාලාවකට ගීත සාහිත්‍යය ගමන් කිරීම කිසිවෙකුටත් නවතාලිය නොහැක.

✍️💚චතුරි සප්තලා සමරතුංග

Popular Articles