Tuesday, June 2, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණයෙන් විශේෂ අවසරයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන මහත්වරුන් 2011 වසරේ යාපනය, අච්චුවේලි ප්‍රදේශයේදී අතුරුදන්වීමේ සිදුවීමට අදාළ හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

මෙම සිදුවීම සිදු වූ වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා, යාපනය අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දීම තම ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි. 2019 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහුට හිමිවූ ව්‍යවස්ථාපිත මුක්තිය, 2022 වසරේදී ධුරයෙන් ඉවත් වීමත් සමඟ අහෝසි වූ බැවින් නැවතත් මෙම නඩුව සඳහා ඔහුව කැඳවීමට නෛතික පසුබිම සකස් විය.

අද (02) දින යාපනය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ සැකකරුවකු නොව සාක්ෂිකරුවකු පමණක් වන බවයි. එම නිසා, ඔහු ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටලු සලකා බලා සෘජුවම අධිකරණයට පැමිණීම වෙනුවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබාදීමට අධිකරණය අවසර ලබා දුන් අතර නඩුව එළඹෙන ජුනි මස 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Popular Articles