දිනූෂි ධීරසිංහ
චීනයේ බෙයිජිං නුවර සිට
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබෙනවා. ඒ ඊයේ (31) 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරට නායකයින් කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුරයි.
ඉකුත් මැයි මස රුසියානු ජනපතිවරයාගේ සාර්ථක චීන රාජ්‍ය සංචාරය සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ එම සංචාරයේදී දෙරට නායකයින් එළඹි එකඟතාවන්ට අනුකූලව විවිධ ක්ෂේත්රයන්හි දෙරට සහයෝගිතා හා හුවමාරු යහපත් අන්දමින් වර්ධනය වෙමින් පවතින බවයි.
ඉදිරියේදී දෙපාර්ශ්වයේ පොදු උත්සාහ යටතේ චීන-රුසියානු සම්බන්ධතා වඩාත් ශක්තිමත් හා ස්ථාවර ලෙස ඉදිරියට වර්ධනය වනු ඇති බව හෙතෙම එහිදී සඳහන් කළා. වර්තමාන ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක් වෙමින් පවතින අතර ජාත්‍යන්තර තත්ත්වයන්ට අවිනිශ්චිත සාධක රැසක් බලපා තිබෙනවා. එහෙත් සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝකවාසීන්ගේ අභිලාෂය වෙනස් වී නැතැයි ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා. ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රුසියාව ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජිකයින් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සංකීර්ණ හා වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ රුසියාව හා චීනය දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් වී ඇතැයි ව්ලැදිමීර් පුටින් මහතා එහිදී සඳහන් කළා. වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන හා විද්‍යා තාක්ෂණ ඇතුළු ක්ෂේත්රයන්හි චීනය සමග සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව ඉදිරියට වර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු කලාපීය හා ජගත් සංවිධානයන්හි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමග සම්බන්ධීකරණය තහවුරු කිරීමට රුසියාව අපේක්ෂා කරන බව ද රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.




