spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඩොලර් මිලියන 808ක මූල්‍ය කාන්දුව වසා දැමීමට ඉඩ දෙන්න එපා හර්ෂ ද සිල්වා වෙත විවෘත ඉල්ලීමක්!

ශ්‍රී ලංකාවේ නිල ගෙවුම් ශේෂ ලේඛනවල “දෝෂ සහ අතපසුවීම්” යටතේ සටහන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක (USD 808 Million) සුවිශාල මූල්‍ය විෂමතාවය, හුදෙක් තාක්ෂණික හෝ “සංඛ්‍යානමය දෝෂයක්” (Statistical error) ලෙස මෙන්ම දත්ත වාර්තාගත වීමේ “කාලීන ප්‍රමාදයක්” ලෙස පමණක් සලකා සුළුකොට බැහැර නොකරන ලෙස ‘දිනන දකුණ සාමූහිකය’ රටේ මූල්‍ය බලධාරීන්ගෙන් සහ රජයෙන් හදිසි ඉල්ලීමක් කර සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද තාක්ෂණික පැහැදිලි කිරීම් පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන එම සාමූහිකය, රටේ සමස්ත සමාජය, පාර්ලිමේන්තුව මෙන්ම මූල්‍ය බලධාරීන් ද මේ පිළිබඳව අතිශය දැඩි අවධානයකින් හා සූදිසියකින් පසුවිය යුතු බවට විශේෂ මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් නිල වශයෙන් අනතුරු අඟවා ඇත.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක දත්ත ගැලපීමේදී සිදුවන සුළු නොගැලපීම් සමනය කිරීම සඳහා “දෝෂ සහ අතපසුවීම්” යන්න ජාත්‍යන්තරව භාවිතා වන සම්මත ගිණුම්කරණ පියවීම් ක්‍රමවේදයක් (Standard Accounting Practice) වුවද, මෙරට ලේඛනවල සටහන් වී ඇති මෙතරම් සුවිශාල වටිනාකමකින් යුත් සෘණ අගය (Negative value) හුදෙක් තාක්ෂණික පාදක සටහනක් ලෙස පමණක් සලකා මුළුමනින්ම මඟහැර යා නොහැකි බව එම සාමූහිකය තරයේම පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම දරුණු සෘණ පරතරය මඟින් මෙරට සාර්ව ආර්ථිකයෙන් (Macroeconomy) ඉතා බරපතල ලෙස විදේශ මුදල් කාන්දු වීම් (Capital flight), මූල්‍ය දත්ත ඌන-වාර්තාකරණය, වැරදි තොරතුරු වාර්තාකරණය හෝ නීති විරෝධී කළු සල්ලි ජාවාරම් හරහා ප්‍රාග්ධනය රටින් පිටවීම සක්‍රීයව සිදුවන බවට රටේ ආර්ථිකයට දරුණු රතු එළියක් (Red light) නිකුත් කරන බවයි.

රටේ ජාතික ධනයට බලපාන මෙම බරපතල මූල්‍ය ගැටලුව කිසිසේත්ම සුළු කොට තැකීමට හෝ විවිධ තාක්ෂණික හේතු දක්වා වසා දැමීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් ‘දිනන දකුණ සාමූහිකය’, පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත සෘජුවම විශේෂ විවෘත ඉල්ලීමක් ද යොමු කර තිබේ.

මේ හරහා අදාළ මූල්‍ය විෂමතාවය පිළිබඳව පාර්ලිමේන්තු මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදුවනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

Popular Articles