පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත, සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ඔහු ස්වේච්ඡාවෙන්ම ලබා දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (23) මේ නියෝගය ලබා දී ඇත්තේ රාමනාදන් කන්නන්, සුජීව නිශ්ශංක යන මහාධිකරණ විනිසුරුවන්ගේ එකඟත්වය ඇතිවය.
මෙම නියෝගයත් සමඟ පාස්කු දින ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ නඩුව තීරණාත්මක අදියරකට පැමිණ ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
විත්තිකරුගේ පාපෝච්චාරණය මඟින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් හා සැලසුම් කළ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිවේ. පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇති බවට පිළිගැනීමත් සමඟ එහි සඳහන් තැනැත්තන්ට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිවේ.
නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරාට 2019 වසරේ නොවැම්බර් 11දා මෙම ප්‍රකාශය දී ඇත.
එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ වෝයර් ඩයර් සත්‍යතා පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බවට තීන්දු කර තිබේ.
මේ වනවිට නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගේ පාපෝච්චාරණ ස්වේච්ඡාවෙන් දී ඇති බව සනාථව ඇත. 08 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී නොමැති බව අධිකරණය තීරණය කර ඇත. පාපෝච්චාරණ තහවුරුව ඇති විත්තිකරුවන් වන්නේ පළමුවැනි විත්තිකරු වන මුහමුදු ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් අබු සෙයිද් හෙවත් අබු සරීම් හෙවත් නවුෆර් මවුලවි, 11 වැනි විත්තිකරු වන කාලිබ් සමීර්, 4 වැනි විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් යන තැනැත්තන්ය. නඩුවේ 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දී ඇත්ද යන්න පිළිබඳ නියෝගය ලබන 30දා ප්‍රකාශ කිරීමට නියමිතය.
නඩුවේ 11 වැනි විත්තිකරු කාලිබ් සමීර් 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් ඉදිරියේ කළ පාපෝච්චාරණයද ස්වේච්ඡාවෙන් කළ එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර ඒකමතිකව තීන්දු කර තිබේ. ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් එම පාපෝච්චාරණය සිදු කර ඇති අතර එය රජයේ සාක්ෂියක් ලෙස නඩු විභාගයට ඇතුළත් කිරීමටද අධිකරණය අවසර ලබා දී ඇත. කාලිබ් සමීර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට තර්ක කළද, ඒ පිළිබඳව පැවති වෝයර් ඩයර් පරීක්ෂණයෙන් අනතුරුව විනිසුරු මඬුල්ල එම තර්කය ප්‍රතික්ෂේප කර ඇත.
එමෙන්ම 09 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බව අධිකරණය 2026 මැයි 29 වැනිදා තීන්දු කර තිබේ.
තවද 12 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණය ආරම්භ කිරීමට අවශ්‍ය ලේඛන මේ වනවිට අධිකරණයට සහ විත්ති පාර්ශ්වයට භාර දී ඇති අතර, 25 වැනි විත්තිකරුට අදාළ වෝයර් ඩයර් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම තාවකාලිකව අත්හිටුවා ඇත.
2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි දේවස්ථාන සහ ප්‍රධාන සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපති විසින් මේ නඩුව පවරා ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි, අධිනීතිඥ අකිලා දල්පදාදු නීතිඥ කණ්ඩායමක් නීතිපති නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවති.
කනීල් මද්දුමගේ, ලෝරන්ස් ඇඩම්ස් හාලි, ලක්ෂ්මන් පෙරේරා යන නීතිඥවරු විත්තිය වෙනුවෙන් පෙනී සිටිති.



