Saturday, May 2, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලොව ලාබාලතමයා ඉෂාන්ක්!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරන අභියෝගාත්මක පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි ඉෂාන්ක් සමත්ව තිබේ.

ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා වූ කිලෝමීටර් 29කට ආසන්න මුහුදු දුර ප්‍රමාණය පිහිනා යාම සඳහා ඉෂාන්ක් වැය කර ඇත්තේ පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයකි.

අප්‍රේල් 30 වනදා ඔහු විසින් අත්කරගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් “විශ්ව වාර්තා සංසදය” (Universal Records Forum) මගින් විශේෂ ලෝක වාර්තා සහතිකයක් ද ඔහුට පිරිනමා ඇත.

රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාන්ක්, මෙම ජයග්‍රහණය වෙනුවෙන් දිනකට පැය 4ක් 5ක් පමණ ධුර්වා වේල්ලේ පුහුණුවීම් කටයුතුවල නිරත වී තිබේ.

අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ ඔහු මෙම විශේෂිත පුහුණුව ලබා ඇත.

ඉෂාන්ක්ගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ, මෙතරම් කුඩා වයසකදී රළු මුහුදු රළ සමඟ සටන් කරමින් ලැබූ මෙම ජයග්‍රහණය සෙසු සිසුන්ට ද විශාල ආදර්ශයක් බවයි.

ඕනෑම ඉලක්කයක් ජය ගැනීමට වයස බාධාවක් නොවන බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීම පමණක් බවත් ඉෂාන්ක් ලොවටම ඔප්පු කර හමාරය.

Popular Articles