මෙරට බන්ධනාගාර තුළ රඳවා තැබීම හැකි ප්‍රමාණයට වඩා හතර ගුණයක පිරිස් එහි සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අද (24) පෙරවරුවේ එක්වෙමිනි.
ඒ අනුව දැනට 10,375ක් රඳවා තැබිය හැකි බන්ධාගාරවල ඒවගේ හතර ගුණයක් විතර රඳවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම කාරණා හේතු කරගෙන ඇතැම් කණ්ඩායම් විවිධ ගැටලු ඇති කරන බවත් පසුගියදා ඇතිවූ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හොඳම උදාහරණයක් බවත් හර්ෂණ අවධාරණය කළේය.
එවැනි සිද්ධිවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ.
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බැවින් එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදී ඒ ආයතනය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම රජය බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන්ට තිබෙන ගැටලු සහ අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රජය මේ වනවිට මැදිහත් වෙමින් සිටියි.
බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන වගේම නිවාස අඩස්සිය වැනි තාක්ෂණික ක්‍රම හදුන්වාදීමට ද කටයුතු කරගෙන යන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් පැවසීය.




