බොරැල්ල, එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක කාලයක සිට අතිශය රහසිගත අයුරින් පවත්වාගෙන ගිය, ව්‍යාජ රාජ්‍ය ලිපි ලේඛන, ජාතික හැඳුණුම්පත් සහ ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරනු ලබන මහා පරිමාණ මධ්‍යස්ථානයක් වටලන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත්ව තිබේ.
මෙම විශේෂ වැටලීමේදී පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ විශාල මුදලක්, ව්‍යාජ නිල මුද්‍රා තොගයක් සහ නීතිවිරෝධී ලිපි ලේඛන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකටයුතු එම නිවස සෝදිසි කිරීමේදී ජාවාරම සඳහා යොදාගත් අතිශය සංවේදී සහ නීතිවිරෝධී ද්‍රව්‍ය රැසක් CID නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ අතර,
- විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා 600ක්.
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත් සහිත මුල් ගොනු (Files) 02ක්.
- ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් 04ක්.
*හොර ලේඛන සකස් කිරීමට භාවිත කළ විද්‍යුත් උපකරණ සහ ටයිප් රයිටර් යන්ත්‍ර. - විවිධ අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක්.
- රුපියල් ලක්ෂ 15 ක (රු. 1,500,000) මුදලක්.
පොලීසිය අනාවරණය කරන පරිදි, සොයාගන්නා ලද නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙළේ දෙපාර්තමේන්තුවලට අයත් නිල මුද්‍රා රාශියක් අඩංගු වේ. ඊට අමතරව සමාදාන විනිශ්චයකාරවරුන් (JP), නොතාරිස්වරුන්, නීතීඥවරුන් මෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ උසස් තනතුරු දරන්නන්ගේ නිල මුද්‍රා ද ඉතා සූක්ෂ්ම ලෙස ව්‍යාජව සකස් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බොරැල්ලේ පිහිටි අදාළ ස්ථානය වටලන අවස්ථාවේදී එහි රැඳී සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ අනාවරණය වූ අතිශය රහසිගත තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම්, නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මෙම ව්‍යාජ ලේඛන මධ්‍යස්ථානය හරහා මෙතෙක් සිදුකර ඇති ඉඩම් සහ වාහන ජාවාරම් මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පුළුල් විමර්ශන සිදුකරගෙන යනු ලබයි.



