නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීමයි. මේ වනවිට එම අධිකරණ දෙක තුළ පුරප්පාඩු අටක් මාස ගණනාවක් තිස්සේ පවතින බව වාර්තා වේ.
එමෙන්ම, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ද පුරප්පාඩුවක් පවතින බව සඳහන් වේ.
නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දෙන්නේ, ඉහළ අධිකරණ සඳහා පත්කිරීම් ප්‍රමාද වීම සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත් නොකිරීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා කාර්යක්ෂමතාවයට බලපෑම් ඇතිවිය හැකි බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් නඩු ගොඩගැසීම වැඩිවිය හැකි අතර, සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලියද ප්‍රමාද විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි. පහළ අධිකරණ පද්ධතිය අධීක්ෂණය කරන ආයතනය පූර්ණ ශක්තියෙන් ක්‍රියා නොකිරීමද බරපතළ ගැටලුවක් ලෙස සැලකේ.
නීතිවේදීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉල්ලීමක් කර ඇත්තේ, ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන සහ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය අනුව, අගවිනිසුරු, අභියාචනාධිකරණ සභාපති සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.




