අද (මැයි 01) දින කොළඹ නගරය සහ ඒ අවට පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් රියදුරන්ට සහ මගීන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.
විශේෂයෙන් මහරගම පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි රැලිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ සහ ඒ අවට ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කර තිබේ.
කොළඹට ඇතුළු වන රථවාහන සඳහා:
සැහැල්ලු වාහන: හෝමාගම දෙසින් පැමිණෙන රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී, බොරලැස්ගමුව හරහා කොහුවල දෙසින් කොළඹට ඇතුළු විය යුතුය.
බර වාහන: පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර, රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකිය.
අධික තදබදයක් ඇති වුවහොත් පනාගොඩ හන්දියෙන් හයිලෙවල් මාර්ගයට වාහන ඇතුළු කිරීම සීමා කරන අතර, එවිට ලෝලෙවල් මාර්ගය (Low-level Road) විකල්ප ලෙස භාවිතා කළ හැක.
කොළඹින් පිටවන රථවාහන සඳහා:
සැහැල්ලු වාහන – බොරැල්ල සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී, රත්නපිටිය සහ බොරලැස්ගමුව හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතුය.
බර වාහන – නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර, බොරලැස්ගමුව හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ හැක.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පොලිසිය ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.




