Thursday, May 14, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සරසවි අයදුම්පත පුරවා පසුදාම දිවියෙන් සමුගත් සහන්…

පිටිගල – පැලවත්ත මාර්ගයේ හෙවෙස්ස 15 කණුව ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින්, සරසවි ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටි 21 හැවිරිදි දීප්තිමත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (13) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පිටිගල, ඉහළ හෙවෙස්ස පදිංචිව සිටි හාල්පන්දෙනි හේවගේ සහන් ලක්ෂිත නැමති සිසුවාය.

පොලිස් වාර්තාවලට අනුව, ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ලිස්සා ගොස් කුඩා පාලම් ඇන්දක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ සහන්ව ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ වර්ෂාව හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බව පිටිගල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ගාල්ල හත්තක මහා විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ඉහළින් සමත්ව සිටි සහන්, සිය සරසවි සිහිනය සැබෑ කර ගැනීමට ඉතා ආසන්නව සිටි සිසුවෙකි.

අනතුර සිදුවීමට පෙර දින (12) ඔහු සිය විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පතද සම්පූර්ණ කර තිබූ බව ඔහුගේ ගුරුවරියක පවසා ඇත්තේ දැඩි සංවේගයෙනි.

හත්තක මහා විද්‍යාලයට ඉමහත් කීර්තියක් ගෙන ආ මෙම දීප්තිමත් සිසුවාගේ අකල් වියෝව මුළු ප්‍රදේශයටම මහත් ශෝකයක් ගෙන දී තිබේ. සහන් ලක්ෂිත සිසුවාගේ අවසන් කටයුතු හෙට (15) දින සිදු කිරීමට නියමිතය.

අපේක්ෂා සහගත තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ සමුගැනීම සැබවින්ම ඛේදවාචකයකි. ඔහුට නිවන් සුව අත්වේවා!

Popular Articles