
වසරකට ඩොලර් බිලියන 1ක් – ණය මත ආර්ථිකය තවදුරටත් පවතිනවාද?
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක පමණ මූල්‍ය සහාය ලබා දීමට Asian Development Bank (ADB) සූදානම් බව එම ආයතනය විසින් ප්‍රකාශ කර තිබේ.
එම මුදල් ආධාරය ප්‍රධාන වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය, පුද්ගලික අංශ සංවර්ධනය, අධ්‍යාපනය සහ කුසලතා වැඩිදියුණු කිරීම වැනි ක්ෂේත්‍රවලට යොදවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුව පවසන්නේ මෙම මුදල් ආධාරය මඟින් රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කර ගත හැකි බවයි.
එහෙත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දැනටමත් විදේශ ණය බරකින් පීඩා විඳින රටක් වන අතර, තවත් ණය ලබා ගැනීම දිගුකාලීන විසඳුමක් නොවන බවයි.
2022 දී රට මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව ද රටේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බොහෝ විට විදේශ ණය සහාය මත පදනම්ව සිදු වන බව ඔවුන් කියති. එම නිසා “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම” යන ප්‍රකාශයන් ප්‍රායෝගිකව ජනතාවට දැනෙන්නේ නැති බවට විවේචන මතුවී තිබේ.
තවද, විදේශ ණය ලබා ගැනීම සමඟ බොහෝ අවස්ථාවලදී බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් අඩු කිරීම සහ රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට විකිණීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදු වන බවටද විවේචන ඇත.
මේ හේතුවෙන් මෙම ආධාරය “ආර්ථික උදව්වක්” ද? නැත්නම් “අලුත් ණය වටයක්” ද? යන්න පිළිබඳව දේශපාලන හා ආර්ථික වටවල විවාදයක් මතුවී තිබේ.


