
අමෙරිකානු දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වෙමින්, එරට නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ලෙස කටයුතු කළ ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කළ බව ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේය.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවකට යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බවයි.
ඇය ඉදිරියේදී භාර ගැනීමට නියමිත එම වගකීම ඉතා වැදගත් එකක් වනු ඇති බව ද ඔහු ඉඟි කර තිබේ.
පසුගිය වසර පුරා පෑම් බොන්ඩි ඉටුකළ සේවය ජනාධිපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය.
ඇය යටතේ අමෙරිකාවේ අපරාධ මර්දන කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවත්, විශේෂයෙන්ම මිනීමැරුම් අනුපාතය 1900 වසරෙන් පසු අවම මට්ටමට පහත වැටුණු බවත් ට්‍රම්ප් සඳහන් කළේය.
ඇයව “ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකු” ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා ඇයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.
වැඩබලන නීතිපති ලෙස පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බව ජනාධිපතිවරයා පවසයි.
ටොඩ් බ්ලැන්ච් යනු මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කළ, ට්‍රම්ප්ගේ සමීපතම විශ්වාසවන්තයෙකි.
“ටොඩ් යනු අති දක්ෂ නීතිඥයෙක්.
ඔහු අපේ අධිකරණ පද්ධතිය නිවැරදි මාවතට ගැනීමට අවශ්‍ය ශක්තිමත් නායකත්වය ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පෑම් බොන්ඩිගේ මෙම හදිසි ඉවත් වීම සහ නව පත්වීම පිළිබඳව මේ වන විට අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය යොමුව තිබේ.


