Saturday, April 4, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

හඳුන්නෙත්තිගේ ලේකම්වරුන්ට හූ තැබූ බව අසත්‍යයි, අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් පිරිසක් මහජන විරෝධයකට ලක් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සහ වීඩියෝ දර්ශන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කසුන් ගමගේ මහතාගේ අත්සනින් යුතුව අදාළ මාධ්‍ය ආයතනය වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ, මෙම පුවත හුදෙක් අපහාසාත්මක අරමුණින් පළ කර ඇති බවයි.

නිවේදනයේ සඳහන් ප්‍රධාන කරුණු වන්නේ,

අදාළ වීඩියෝ දර්ශනවල මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු නොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

විශේෂයෙන්ම එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් හෝ රසිඳු යසෝද් මරගල යන මහත්වරුන් මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති බව එම ලිපියෙහි පැහැදිලිව සඳහන් කර ඇත.

මූලික තොරතුරු පවා විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයක් බව පෙන්වා දෙන අමාත්‍යාංශය, ඒ පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

අදාළ අසත්‍ය පුවත වහාම මාධ්‍ය ජාලවලින් ඉවත් කර ඒ වෙනුවට නිවැරදි පුවත පළ කරන ලෙස අමාත්‍යාංශය අදාළ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටී.

මෙම ලිපියේ පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද යොමු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ද අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ මෙවැනි තහවුරු නොකළ පුවත් බෙදාහැරීමෙන් වළකින ලෙසයි.

Popular Articles