දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
අද පෙරවරු 8.00 සිට යළි ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක සාමාන්‍ය ප්‍රතිකාර සේවාවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, රෝගී ජීවිත අවදානමට ලක්වීම වළක්වාලීම සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල් කිහිපයක් වර්ජනයෙන් නිදහස් කිරීමට සංගමය පියවර ගෙන ඇත.
රෝගීන්ගේ පහසුව උදෙසා පහත ආයතනයන්හි සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ:
මාතෘ හා ළමා රෝහල්
මහරගම අපේක්ෂා රෝහල
විශේෂ වකුගඩු ඒකක
ත්‍රිවිධ හමුදා රෝහල්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (මුල්ලේරියාව)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සඳහා සිදුවන දේශපාලන බලපෑම් වහාම නතර කළ යුතු බවයි. අද දින රැස්වන සංගමයේ විධායක සභාව මඟින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි ගමන පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.




