8 වැන දා (ඊයේ) ඊශ්‍රායලය ලෙබනනයට මේ දක්වා සිදුකළ දැඩිතම ප්‍රහාර මාලාව එල්ල කරමින් සිය ගණනක් ජීවිත අහිමි කර තිබේ.
එම ප්‍රහාරයන් හේතුවෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, එක්සත් ජනපදය සමඟ ස්ථිර සාම ගිවිසුමක් පිළිබඳ පැවැත්වීමට නියමිත සාකච්ඡා ඉදිරියට ගෙන යාම “අසාධාරණ” බවද ප්‍රකාශ කර ඇත.
ඉරානයේ ප්‍රධාන සාකච්ඡා නියෝජිතයා වන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් කාලිබාෆ්ගේ මෙම අනතුරු ඇඟවීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අඟහරුවාදා නිවේදනය කළ සටන් විරාමයෙන් පසුවද කලාපයේ අස්ථාවරතාව තවමත් ඉහළ මට්ටමක පවතින බව පෙන්වයි.
සෙනසුරාදා ආරම්භ කිරීමට නියමිත සාම සාකච්ඡා සඳහා දෙපාර්ශවයම එකිනෙකට පරස්පර අරමුණු ඉදිරිපත් කර තිබුණද, සති දෙකක සටන් විරාමය එතෙක් පවතිනු ඇත්ද යන්න පැහැදිලි නොවීය.
කාලිබාෆ් පවසා ඇත්තේ, හෙස්බොල්ලා සංවිධානයට එරෙහි යුද්ධය තවදුරටත් වර්ධනය කිරීමෙන් ඊශ්‍රායලය සටන් විරාමයේ කොන්දේසි කිහිපයක්ම උල්ලංඝනය කර ඇති බවයි.
එසේම, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හැරිය යුතු බවට එක්සත් ජනපදය බල කිරීමද ගිවිසුමට පටහැනි බව ඔහු කියා සිටියේය.
“මෙවැනි තත්ත්වයක් තුළ ද්විපාර්ශ්වික සටන් විරාමයක් හෝ සාකච්ඡා පැවැත්වීම අසාධාරණයි,” යනුවෙන් ඔහු නිවේදනයක සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය දෙකම පවසා ඇත්තේ මෙම සති දෙකක සටන් විරාමය ලෙබනනය ආවරණය නොකරන බවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවර මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, “ඉරානය ලෙබනනයත් සටන් විරාමයට ඇතුළත් යැයි සිතාගෙන තිබුණා. නමුත් එය එසේ නොවීය,” යනුවෙනි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳවද දෙපාර්ශවය අතර විශාල මතභේද පවතී.
ට්‍රම්ප් පවසා ඇත්තේ, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි යුරේනියම් ශෝධනය නතර කිරීමට ඉරානය එකඟ වී ඇති බවයි.
එසේම, දැනට පවතින යුරේනියම් තොග භාරදීමටද ඉරානය සූදානම් බව ධවල මන්දිරය සඳහන් කර ඇත.
“එක්සත් ජනපදය, ඉරානය සමඟ එක්ව, ගැඹුරින් භූගතව තැන්පත් කර ඇති න්‍යෂ්ටික ‘දූවිලි’ සියල්ල ඉවත් කරනු ඇත,” යනුවෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.
නමුත් කාලිබාෆ් පවසන්නේ, සටන් විරාම ගිවිසුම යටතේ ඉරානයට යුරේනියම් ශෝධනය දිගටම කරගෙන යාමට අවසර ඇති බවයි.
පස් සති පුරා පැවති යුද්ධය හේතුවෙන් දහස් ගණනක් මියගොස් තිබුණද, එක්සත් ජනපදය සහ ඉරානය දෙකම ජයග්‍රහණය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මැද පෙරදිග කලාපයේ අනාගතය තීරණය කළ හැකි ප්‍රධාන ගැටලු තවමත් විසඳී නොමැත.
අනතුරුව, ලෝක කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබූ අතර, තෙල් මිල 14%කින් පහළ වැටී බැරලයක් ඩොලර් 95ක් පමණ වන මට්ටමකට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, බ්‍රෙන්ට් බොරතෙල් මිල තවමත් යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා ඩොලර් 25කින් ඉහළය.
නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය “ප්‍රහාරයට සූදානම්ව සිටින” බවත්, “ඕනෑම මොහොතක” යළි සටන් ආරම්භ කළ හැකි බවත්ය.
ලෙබනනයේ සිවිල් ආරක්ෂක සේවය සඳහන් කළේ, බදාදා දිනයේ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 254 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඉන් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බේරුට් නගරයෙන් වන අතර, එහි පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇත.
හෙස්බොල්ලා සංවිධානය බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රකාශ කළේ, “සටන් විරාම උල්ලංඝනය කිරීම්” සඳහා ප්‍රතිචාර ලෙස උතුරු ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ලෙබනනයට එල්ල වූ “අවිචාරවත්” ඊශ්‍රායල ප්‍රහාර දැඩිව හෙළා දැක තිබේ.
එසේම යුරෝපීය රටවල් 13ක්, ජපානය සහ කැනඩාවද එක්ව සටන් විරාමය පිළිගෙන, ගෝලීය බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා සටන් ඉක්මනින් නවත්වන ලෙස ඉල්ලා ඇත.
මේ අතර, ඉරානය සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ තෙල් පහසුකම් වෙතද ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර වාර්තා කර ඇත.
හෝර්මුස් සන්ධිය තවමත් අවසර නොමැති නෞකා සඳහා වසා දමා ඇති අතර, නාවික සමාගම් ගමනාගමනය නැවත ආරම්භ කිරීමට පෙර වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පවසයි.
ට්‍රම්ප් තවත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට අවි සපයන ඕනෑම රටක භාණ්ඩ මත 50%ක නව බදු පනවන බවයි. නමුත් එවැනි තීරණයක් ගැනීමට ඔහුට නීතිමය බලය නොමැති බවද සඳහන් වේ.
ඉරානයේ ජනතාව වීදි බැස ජාතික කොඩි රැගෙන සහ එක්සත් ජනපද හා ඊශ්‍රායල කොඩි දහනය කරමින් මෙම තත්ත්වය සමරනු දක්නට ලැබුණි.
එහෙත් සාම ගිවිසුම දිගටම පවතිනු ඇතැයි විශ්වාසයක් නොමැති බවද පෙනී ගියේය.
ටෙහෙරානයේ රජයේ සේවකයෙකු වන 29 හැවිරිදි අලිරේසා රොයිටර්ස් වෙත පවසා ඇත්තේ,
“ඊශ්‍රායලය රාජ්‍ය තාන්ත්‍රික උත්සාහ සාර්ථක වීමට ඉඩ නොදෙනු ඇත. ට්‍රම්ප් හෙටම අදහස වෙනස් කළ හැක. නමුත් අද රාත්‍රියේ ප්‍රහාර නැතිව නිදාගත හැකි වීමත් සැනසීමක්,” යනුවෙනි.




