2025 වසර තුළ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් යායුතු වයසට අයත් ළමුන් 161ක් පාසල් නොයන බව හඳුනාගෙන ඇත. එයින් වැඩිම සංඛ්‍යාව දොඩංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මෙම තොරතුරු හෙළිවූයේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය. එම රැස්වීම සභාපතිත්වය දැරූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ඩො. නලින්ද ජයතිස්ස මහතාය.
නිල වාර්තාව අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව පාසල් නොයන ළමුන් සංඛ්‍යාව මෙසේය,
බේරුවල (14), පානදුර (15), කළුතර (15), මිල්ලනිය (2), හොරණ (20), වලල්ලාවිට (1), මතුගම (15), බණ්ඩාරගම (7), අගලවත්ත (7), දොඩංගොඩ (51), ඉංගිරිය (4), මදුරාවල (2) සහ පාලින්දනුවර (8). බුලත්සිංහල ප්‍රදේශයෙන් එවැනි සිද්ධි කිසිවක් වාර්තා වී නොමැත.
මෙම ළමුන් අතරින් 42 දෙනෙකු නැවත පාසල්වලට යොමු කර තිබේ. එම ළමුන් කිහිපදෙනෙක් කළුතර, මතුගම, බණ්ඩාරගම, දොඩංගොඩ, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රදේශවලින් වේ.
එසේම, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14න් 12ක පාසල් නිරීක්ෂණ කමිටු ස්ථාපිත කර ඇති අතර, බේරුවල සහ මතුගම ප්‍රදේශවල එවැනි කමිටු තවම ස්ථාපිත කර නොමැති බව නිලධාරීහු පැවසූ හ.



