Sunday, April 26, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ජනපති ට්‍රම්ප් සහභාගී වූ උත්සවයකදී වෙඩි තැබීමක් , වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

ආරක්ෂක අංශ විසින් සිදුකළ මූලික විමර්ශනවලට අනුව, අදාළ වෙඩික්කරු කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයට නුදුරු නිරිතදිග තදාසන්න ප්‍රදේශයක පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

ඔහු හෝටල් පරිශ්‍රයට ඇතුළු වන අවස්ථාවේ තුවක්කු මෙන්ම පිහි කිහිපයක් ද ළඟ තබාගෙන සිට ඇති බවත්, ඔහු විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවත් නවතම වාර්තාවල සඳහන් වේ.

වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අසල පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම කඩිනම් කර ඇති අතර, එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) සහතික වූයේ සැකකරුට එරෙහිව ඉතා ඉක්මනින් චෝදනා ගොනු කරන බවයි.

මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව ධවල මන්දිරයේ සිට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උත්සවයට සහභාගී වීමට පෙර තමන්ට හෝ තම ආරක්ෂක කණ්ඩායමට මෙවැනි තර්ජනයක් පිළිබඳව පූර්ව දැනුම්දීමක් ලැබී නොතිබූ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙය කිසියම් කණ්ඩායමක මෙහෙයවීමක් නොව, තනි පුද්ගලයෙකු විසින් සිදුකළ ක්‍රියාවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Popular Articles