අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයකට බැර වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, විමර්ශන කටයුතු ප්‍රධාන අංශ දෙකක් යටතේ සිදු කෙරෙන බව අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශය මට්ටමින් මේ පිළිබඳ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් පවත්වනු ලබයි.
ඉකුත් පෙබරවාරි මාසයේදී කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විධිමත් පරීක්ෂණයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කිසියම් නිලධාරියෙකු හෝ පිරිසක් චේතනාන්විතව මෙම මූල්‍ය අක්රමිකතාවයට සම්බන්ධ වී ඇත්ද යන්න අනාවරණය කර ගැනීම රජයේ මූලික අරමුණ බවයි.
“අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් නිලධාරියෙක් හෝ නිලධාරීන් කිහිපදෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එහෙම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදු නොවන්න අවශ්‍ය කරන ශක්තිමත් යන්ත්‍රණයක් සකස් කරගන්න එකයි අපේ අරමුණ.”
පද්ධතියේ පවතින දුර්වලතා හඳුනාගෙන, අනාගතයේදී මෙවැනි මූල්‍ය අවභාවිතයන් සිදු නොවීමට වගබලා ගන්නා බවත්, වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සහතික විය.




